යුපුන් අබේකෝන් හා පාලිත බණ්ඩාර ශ්‍රී ලංකාව ලෝකඩ හා රිදී පදක්කමින් සරසති

0
29

ශ්‍රී  ලංකා මලල ක්‍රීඩා ඉතිහාසයේදී බිහිවූ විශිෂ්ටතම කෙටිදුර ධාවකයා ලෙස සැලකෙන යුපුන් අබේකෝන් එංගලන්තයේ බර්මින්හැම් නුවරදී පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ පිරිමි මීටර් 100 ඉසව්වෙන්  ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක් හිමිකරදෙද්දී පැරා කවපෙත්ත විසි කිරීමේ ඉසව්වට සහභාගි වූ පාලිත බණ්ඩාර ශ්‍රී ලංකාවට රිදී පදක්කමක් දිනාදීමට සමත්වීමද විශේෂත්වයකි.

ඒ අනුව එදා මෙදා තුර පැවැති පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලකදී පිරිමි මීටර් 100 ඉසව්වකදී ශ්‍රී ලංකාවට පදක්කමක් හිමිකර දුන් පළමු ක්‍රීඩකයා ලෙස යුපුන් ඉතිහාසගතවීමට නියමිතව ඇති අතර, එම ඉසව්ව නිම කිරීම සඳහා ඔහු තත්. 10.14ක කාලයක් වැය කරද්දී රන් පදක්කම කෙන්යාවේ ෆර්ඩිනැන්ඩ් ඔමන්යාලාටත්, (තත්.10.02), රිදී පදක්කම ද. අප්‍රිකාවේ අකානි සිබිනිට (10.13) හිමිවිය.

කෙසේ වෙතත් මෙම තරගාවලියේදී ශ්‍රී ලංකාවට මෙතෙක් හිමි වූ එකම රිදී පදක්කමේ අයිතිය තහවුරු කරගැනීමට පැරා තරගාවලියේ F42-44 කවපෙත්ත විසිකිරීමේ ඉසව්වට සහභාගි වූ පාලිත බණ්ඩාරට හැකිවිය. එහිදී පාලිත බණ්ඩාර විසින් මීටර් 44.20 ක දුරක් සටහන් කරමින් රිදී පදක්කම දිනාගනිද්දී එහි රන් හා ලෝකඩ පදක්කම් වේල්සයට හිමිව තිබිණි.

මේ අතර පෙරේදා බැඩ්මින්ටන් කේවල තරගයකට සහභාගි වූ නිලුක කරුණාරත්න උගන්ඩා ක්‍රීඩකයා පරාජය කරමින් අවසන් තිස් දෙදෙනාගේ වටයට පිවිස තිබූ අතර, ඊයේ පැවැති එම වටයේදී බාබඩෝස්හි සින්ඩි එතොර්නාම් පරාජය කරමින් අවසන් 16 දෙනාගේ වටයට පිවිසීමට සමත්විය. තවද ඊයේ පැවැති බැඩ්මින්ටන් කේවල කාන්තා අවසන් තිස් දෙදෙනාගේ තරග වටයට සහභාගි වූ විදාරා සුහස්නි එංගලන්ත ක්‍රීඩිකාව හමුවේ තරග වටයක පරාජයක් ලබාගත්තාය.

එසේම බොක්සිං කාන්තා කේවල අර්ධ අවසන් පූර්ව වටයේදී තරග වැදුණු කේෂානි හංසිකා සහ නදීකා පුෂ්පකුමාරි පිළිවෙළින් නොදර්න් අයිලන්ඩ් හා බොට්ස්වානා දේශයේ ක්‍රීඩිකාවන් හමුවේ පරාජය ලැබීය.

තවද පෙරේදා රාත්‍රියේදී නිමාවට පත්වූ බර ඉසිලීමේ තරගවලට සහභාගි වූ ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවට හා ක්‍රීඩකයාට අපේක්‍ෂිත දක්‍ෂතා දැක්වීමට නොහැකි වී තිබූ අතර, එහිදී කාන්තා කි.ග්‍රෑ. 87ට වැඩි බර පන්තිය යටතේ තරග වැදුණු තිමාලි නෙත්මිණිට හා පිරිමි කි.ග්‍රෑ. 109ට වැඩි බර පන්තිය යටතේ තරග වැදුණු උෂාන් චරුකට 8 වැනි ස්ථානයෙන් සෑහීමට පත්වීමට සිදුවිය.