මොනරාගල මුස්ලිම් පල්ලියේ මවුලවිතුමන් නි‍ෙදාස්කොට නිදහස්

0
7

ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් තොරතුරු ලබාදෙන ලෙස ආගමික නායකයන් දැනුවත් කර තිබියදී අන්තවාදී සංවිධානයක් මඟින් ලද ලිපියක් පිළිබඳව ආරක්ෂක අංශ දැනුවත් නොකිරීම සම්බන්ධයෙන් මොනරාගල ජුම්මා මුස්ලිම් දේවස්ථානයේ මවුලවිතුමන්ට එරෙහිව පවරා තිබූ නඩුවක් විභාග කළ මොනරාගල දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් ඒ.එල්. සජිනි සමරවික්‍රම මහත්මිය විසින් විත්තිකරු නි‍ෙදාස්කොට නිදහස් කරනු ලැබීය.

නි‍ෙදාස්කොට නිදහස් කරනු ලැබුවේ බිබිල මැදගම බකිනිගහවෙල පදිංචි මොනරාගල ජුම්මා මුස්ලිම් දේවස්ථානයේ මවුලවි මොහොම්මදු සිද්දික් මොහොම්මදු සල්සබීන් යන අයයි.

ඉකුත් 2019 වසරේ මැයි 02 දින මොනරාගල ජුම්මා මුස්ලිම් දේවස්ථානය පරීක්ෂාකොට අන්තවාදී සංවිධානයක ලිපියක් එහි තිබී සොයාගෙන මවුලවිතුමන් අත්අඩංගුවට ගෙන ඔහුට එරෙහිව ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 199 වැනි වගන්තිය යටතේ මොනරාගල පොලිසිය මඟින් මෙම නඩුව පවරා තිබිණි.

දීර්ඝ නඩු විභාගයකින් පසු විත්තිකරුට එරෙහිව එල්ල කළ චෝදනා සාධාරණ සැකයෙන් තොරව ඔප්පුවීමට පැමිණිල්ල අසමත් වී ඇති හෙයින් විත්තිකරු නි‍ෙදාස්කොට නිදහස් කිරීමට මහෙස්ත්‍රාත්වරිය නියෝග කළාය. විත්තිකරු වෙනුවෙන් නීතීඥවරුන් වන ඒ.එල්. තාහා නජුමුදීන් සහ දිලුම් ජයසේකර යන මහත්වරු පෙනී සිටියහ.

බිබිල – නඳුන් ගුණතිලක