මිලියන 15ක් අයථා ලෙස උපයා ගත්තැයි නාමල් ඇතුළු 4කට එරෙහි නඩුව කල් තබයි

0
8

රුපියල් මිලියන 15ක මුදලක් අයථා ලෙස උපයා ගත් බවට මුදල් විශුද්ධිකරණය යටතේ මුල්‍ය අපරාධ කොට්ඨාසය හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ  ඇතුළු සැකකරුවන් සිවු දෙනකුට එරෙහිව පවරා ඇති නඩුව පිළිබඳ නීතිපති උපදෙස් ලබා ගැනීම සඳහා නඩුව නැවත ලබන දෙසැම්බර් මස 08 වැනි දින කැඳවීමට කොළඹ  ප්‍රධාන මහෙස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා ඊයේ (04දා)  නියෝග කළේය.

මෙම නඩුව සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ලබා ගැනීම සඳහා නීතිපතිවරයා වෙත යොමු කර ඇති අතර නීතිපති උපදෙස් තවම ලැබී නොමැති බව මුල්‍ය අපරාධ කොට්ඨාසය අධිකරණය හමුවේ දැන්වීය.

නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු ලෙස කටයුතු කරමින් අයථා ලෙස උපයාගත් රුපියල් මිලියන 15ක මුදලක් එන්.ආර්. කන්සල්ටන්සි සමාගමේ යෙදවීමෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් කර ඇතැයි චෝදනා කරමින් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය මඟින් ඔහු ඇතුළු සැකකරුවන් හතරදෙනකුට එරෙහිව මේ නඩුව පවරා තිබිණි.

හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ, සුදර්ශන බණ්ඩාර, නිත්‍යා සේනානි සමරනායක හා සුජානි බෝගොල්ලාගම යන අය මෙම නඩුවේ සැකකරුවන් ලෙස පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාසය විසින් නම් කර තිබිණි.

හංසි නානායක්කාර