බෝට්ටුවෙන් වැව මැදට ගිහින් මාළු අල්ලන දිඹුලාගල අම්මලා

0
38

පවතින රැකියා අර්බුදය සහ භූමිතෙල්, ඩීසල්, ඉන්ධන හිඟයට විකල්පය ලෙස දිඹුලාගල මගුල්දමන ඇතුළු අවට ගම්මාන රැසක කාන්තාවන්ට බෝට්ටුවලින් හඳපාන්විල වැවට ගොස් ධීවර කටයුතු කරමින් ජීවිතය සරිකර ගැනීමට සිදු වී ඇත.

හඳපාන්විල මිරිදිය ධීවර සමිතියේ සාමාජිකයන් 125ක් පමණ සිටින අතර ඉන් හතළිහකට වැඩි පිරිසක් නියෝජනය කරන්නේ කාන්තාවන්ය.

කුඹුරු, ඉඩම් හෝ වෙනත් රැකියා නොමැති මෙම ධීවරයන් උදෑසන රැකියාව සඳහා පිටත් වන අතර හඳපාන්විල විල්ලුවේ ඇති  විශාල ජලාශයේ ඔවුන් මිරිදිය ධීවර කටයුතු කරන්නේ බෝට්ටුවලින්් ගමන් කරමිනි.

බෝට්ටුවේ ගමන් කරන මෙම කාන්තාවන් ජීවිතයත් මරණයත් අතර සටනක නියැළී දවසේ අල්ලා ගන්නා මාළුන්ගෙන් වැඩි ප්‍රමාණයක් වේළා දුම් කරවල ලෙසත්, අලෙවි කරන අතර එම දුම්කරවල කිලෝවක් රුපියල් 2,000ත් 2,500ත් අතර මිලකට අලෙවි කරමින් ඔවුන්ගේ ජීවිතය ගැට ගහ ගනිති.

තම ජීවිත අවදානමද නොතකා වන අලින් සැරිසරන භූමිය මැදින් ගමන් කරමින් දිවා මෙන්ම රාත්‍රි කාලයේ මහා ජලාශය මැද බෝට්ටුවලින් ගමන්කරමින් දැල් යොදා මසුන් අල්ලන මෙම ධීවරයන් සැබැවින්ම දිරිය මවුවරුන්ය.

පිරිමි ධීවරයන් සමඟ කරට කර හැපෙමින් මෙම හඳපාන්විල මිරිදිය ධීවර සමිතියේ සිංහල, දමිළ, ආදිවාසී සියලුදෙනා නියෝජනය කරමින් මෙම රැකියාව කිරීමද විශේෂත්වයකි.

හඳපාන්විල විල්ලුවේ මසුන් අල්ලා ජීවත්වන කාන්තාවන්ගෙන් බොහෝ දෙනකු දුම්කරවල නිෂ්පාදනය කරන අතර තවත් පිරිසක් අල්ලන මාළු පිටස්තරින් හඳපාන්විලට එන වෙළෙ¾දුන්ට අලෙවි කර ජීවිතය ආර්ථිකයෙන් පෝෂණය කරගනිති.

හඳපාන්විල විලේ වසර විසි තුනක කාලයක සිට ධීවර කටයුතුවල නිරතව සිටින 50 වියැති තිදරු මවක වන කේ. අයිරාංගනී මහත්මිය තම රැකියාව පිළිබඳ මෙලෙස විස්තර කළාය.

 මහත්තයෝ අපිට කුඹුරු ඉඩම් නෑ. අපේ රස්සාව මේක තමයි,දරුවෝ තුන් දෙනාම ලොකු මහත් කළේ ධීවර රස්සාව කරලා, දැන් ඒ දරුවොත් විවාහ වෙලා මේ රස්සාව තමයි කරන්නේ.හඳපාන්විල ධීවර සමිතියේ සාමාජිකයෝ 125ක් විතර ඉන්නවා. ඒකෙන් හතළිහක් පමණ කාන්තාවෝ. අපි කිසිම බයක් සැකක් නැතිව බෝට්ටුවේ මහා ජලාශය මැද ගිහිල්ලා මාළු අල්ලනවා. ඒ අල්ලන මාළුවලින් සමහර කාන්තාවන් දුම්කරවල කරලා අලෙවි කරනවා. මේ ධීවර සමිතියේ සිංහල, දමිළ, ආදිවාසී, මුස්ලිම් හැම කෙනාම නියෝජනය කරනවා.

අපි සමඟියෙන් මේ රස්සාව ඉතා හොඳින් කරගෙන යනවා. මේ ධීවර ගම්මානයට අඩුපාඩු ගොඩයි. බෝට්ටු දැල් ආම්පන්න හිඟයි. පොළොන්නරුවේ දුප්පත්ම ධීවර ගම්මානය මේක. ඉතින් අපිට පුළුවන් විදිහට රජයෙන් පහසුකම් දුන්නොත් මේ රස්සාව දියුණු කරගන්න පුළුවන්, කේ. අයිරාංගනී මහත්මිය සඳහන් කළාය.

මනම්පිටිය _ නිමල් ජයරත්න