බාලවයස්කාරියක කෙලෙසූ සැකකරු 10 දක්වා රිමාන්ඩ්

0
11

මව සහ පියා නිවෙසේ දබර වන අවස්ථාවේ ඊට උරණ වීම හේතුවෙන් පියා නිවෙසින් පන්නා දැමූ 15 හැවිරිදි දැරියකට ලිංගික අතවර කිරීමේ චෝදනා මත මිනුවන්ගොඩ පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලද සැකකරු ලබන 10 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙසට මිනුවන්ගොඩ මහෙස්ත්‍රාත් ටී. තේනබදු මහත්මිය ඉකුත් 02 වැනිදා නියෝග කළාය.

මැටිකොටමුල්ල ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි තරුණ සැකකරුවකු මෙසේ රිමාන්ඩ් භාරයට පත් කෙරිණි.

අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණු    බාලවයස්කාර සිසුවිය මීගමුව ප්‍රදේශයේ පිහිටි ළමා සුරැකුම් මධ්‍යස්ථානයක රඳවා තැබීමට නියම කෙරිණි.

වින්දිත දැරිය සහ සැකකරු හිතවත්ව සිට ඇති බව පොලිසිය පවසයි. පියා පහරදී නිවෙසින් එළවා දැමූ දැරිය බියට පත්ව මහාමාර්ගයේ දුවමින් සිටියදී දැරියට සැකකරුව හමුවී ඇති බව පොලිසිය පවසයි. සැකකරු දැරිය තම නිවෙසට රැගෙන ගොස් ලිංගික අතවර කර ඇති බවද පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇතැයි පොලිසිය කීය. එම අවස්ථාවේ සැකකරුගේ නිවෙසේ කිසිවකුත් නොසිට ඇති බවද පොලිසිය කියයි.

තරමක් මන්දබුද්ධික භාවයෙන් පෙළෙන දැරිය ගම්පහ මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත ඉදිරිපත් කළ බවද පොලිසිය පැවැසීය. මිනුවන්ගොඩ පොලිසියේ සැරයන් නිරෝෂන් එදිරිසිංහ (12860) නිලධාරියා පැමිණිල්ල මෙහෙය විය.

මිනුවන්ගොඩ – ටෝනි කේ. අතුකෝරල