බලපත්‍ර දුන්නාට තෙල් නෑ ධීවර යාත්‍රා විසිපන්දහසක් වෙරළේ

0
10

ධීවර අමාත්‍යාංශයේ ලියාපදිංචි එක්දින යාත්‍රා 25,500ක් පමණ තම රැකියාව සිදු කර ගැනීමට අවශ්‍ය භූමිතෙල් නොලැබීම නිසා වෙරළ තීරයේ ගාල් කර තිබෙන බව එක්සත් ධීවර හා ධීවර කම්කරු සංගමයේ ප්‍රධාන ලේකම් එම්. විජේන්ද්‍ර පැවසීය. පවතින අර්බුදය හේතුවෙන් දැනට මාස දෙකකට වැඩි කාලයක් පමණ ධීවර කර්මාන්තයේ යෙදෙන ලක්ෂ තුනකට අධික ධීවර ප්‍රජාවක් පීඩා විඳින බවත් සෘජුව හා වක්‍රව සුළුපන්න ධීවර ජනතාවගෙත් ආදායම් අහිමි වී ඇති බවත් හෙතෙම ‍කීය.

ධීවර දෙපාර්තමේන්තුව මඟින් දිනකට භූමිතෙල් ලීටර් 50ක් හා සතියකට පෙට්රල් ලීටර් 05ක් සඳහා ධීවර ජනතාවට බලපත්‍රයක් ලබාදී ඇති බවත් බලපත්‍රයට අවශ්‍ය ඉන්ධන ලබා දීමක් අද වෙනතුරු සිදුව නැති බවත් ඔහු පැවසීය.

රට පුරාම සිටින සුළුපන්න ධීවරයින් අල්ලනු ලබන මත්ස්‍ය වර්ග 118ක් පමණ අපනයනය කරන බවත් ඉන් රටට ඩොලර් උපයා දීමට ධීවර ජනතාවත් මැදිහත් වෙන නමුත් රජය විසින් ධීවරයන්ට කිසිදු සහනයක් ලබා නොදෙන බවට චෝදනා කළේය.

රට තුළ අවශ්‍ය තරම් ඉන්ධන තොග හා භූමිතෙල් නොමැතිව තිබියදී ධීවරයන් සඳහා ඉන්ධන ලබා ගැනීමට බලපත්‍රයක් නිකුත් කර තිබීම විහිළුවක් බවත් එවැනි විහිළු ජනතාවට සැපයීම තුළින් අර්බුදයට පත් පවුල්වලට සහනයක් නොලැබෙන බවත් ඔහු වැඩිදුරටත් පැවසුවේය.

මිතුන් ජයවර්ධන