බරණ ඇතාගේ ඝාතනයේ ප්‍රධාන සැකකාර පොලිස් කොස්තාපල් පලාගොස් සැඟවිලා

0
13

කලාවැව රක්ෂිතයට සහ ඒ අවට පරිසරයට ගාම්භීරත්වයක් සහ සුන්දරත්වයක් එක් කරමින් වසර ගණනාවක් තිස්සේ එම ප්‍රදේශවල සැරිසැරූ බරණ නමින් ප්‍රචලිත දළ ඇතාගේ ඝාතන සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු පොලිස් කොස්තාපල් කෙනකු බව හඳුනාගෙන ඇතැයි ගල්කිරියාගම වනජීවී කාර්යාලය සඳහන් කරයි.

අදාළ පොලිස් කොස්තාපල් අත්අඩංගුවට ගැනීම සඳහා ඔහු දැනට සේවය කරමින් සිටින ගල්කිරියාගම පොලිස් ස්ථානයට ගොස් පොලිස් කොස්තාපල්ට එරෙහිව පවතින චෝදනාව සම්බන්ධයෙන් ගල්කිරියාගම පොලිස් ස්ථානාධිපතිවරයාට සහ සැකකාර පොලිස් කොස්තාපල්ට කියා දුන් අවස්ථාවේදී සැකකාර පොලිස් කොස්තාපල් දුරකථන ඇමැතුමක් ලබාගන්නා මුවාවෙන් වනජීවී නිලධාරීන්ගෙන් වසන්වී පලා ගොස් ඇති බවද පවසන ගල්කිරියාගම වනජිවී කාර්යාලය, ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා නිවෙසට ගියද නිවෙසින්ද ඔහු පලා ගොස් ඇති බවද කීවේය.

මේ සම්බන්ධයෙන් උතුරු මැද ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා, අනුරාධපුර කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරිවරයා සහ ගල්කිරියාගම පොලිසියේ ස්ථානාධිපතිවරයා දැනුවත් කර ඇති බවද තවදුරටත් පවසන ගල්කිරියාගම වනජීවී කාර්යාලය, එහෙත් සැකකාර පොලිස් කොස්තාපල් අත්අඩංගුවට ගැනීමට නොහැකි වී ඇති බවත් ඔහු මෙතෙක් පොලිසියට හෝ අධිකරණයට භාර වී නොමැති බවත් සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් අනුරාධපුර කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි ජයන්ත පුෂ්පකුමාර මහතාගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී හෙතෙම කියා සිටියේ බරණ ඇතාගේ ඝාතනය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින බව කියන ගල්කිරියාගම පොලිසියේ මෙම කොස්තාපල් නොපමාව සිය භාරයට ගෙන වනජිවී නිලධාරීන්ට දෙන ලෙසට තමා දැනටමත් කැකිරාව කලාපය භාර සහකාර පොලිස් අධිකාරි නාමල් පෙරේරා මහතාට නියෝග කර ඇති බවයි.

මේ අතර මෙම අපරාධය සම්බන්ධයෙන් ගල්කිරියාගම වනජීවී කාර්යාලය මේ වන විටත් අධිකරණයට කරුණු වාර්තා කර ඇති අතර එහිදී කැකිරාව දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් සමන් වැරණියගොඩ මහතා ගල්කිරියාගම වනජීවී කාර්යාලයේ නිලධාරීන්ට නියෝග කර ඇත්තේ බරණ ඇතාගේ ඝාතනය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් මෙහෙයවා ඊට සම්බන්ධ සියලු සැකකරුවන් නොපමාව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.

ඝාතනය කෙරුණු බරණ ඇතාගේ වයස අවුරුදු 30ක් පමණ වන අතර උස අඩි නවයක් බවත් ඔහුගේ පිරිපුන් දළ යුගල අඩි හතරක පමණ දිගින් යුක්ත බවත් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ පශු වෛද්‍යවරයා තහවුරු කරගෙන ඇත.

අනුරාධපුර – ආනන්ද කරුණාදාස