පැතුම් කර්නර්ට ඇප

0
30

පසුගිය 13 වැනි දින පාර්ලිමේන්තුව අසල පොල්දුව මංසන්ධියේදී පැවැති උද්ඝෝෂණයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පැතුම් කර්නර් යන අය රුපියල් ලක්ෂ 10ක ශරීර ඇප 2ක් මත මුදාහැරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා ඊයේ (04දා) නියෝග කළේය.

සැකකරු හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සාක්ෂිකරු විසින් ඔහු හඳුනාගෙන තිබිණි.

ඒ අනුව සැකකරුට ඇප ලබාදීමෙන් විමර්ශන කටයුතුවලට බාධා නොවේ යැයි අධිකරණය නිගමනය කිරීමෙන් අනතුරුව ඇප නියම කරන බව මහෙස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේය.

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පැතුම් කර්නර් යන අය සම්බන්ධයෙන් සුබසාධන පරීක්ෂණයක් පැවැත්වීම සඳහා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය වෙත ගිය තම නිලධාරීන්ගේ රාජකාරි කටයුතුවලට බන්ධනාගාර නිලධාරීන් බාධාවක් කර ඇති බවට මානව හිමිකම් කොමිසම මෙහිදී මහෙස්ත්‍රාත්වරයා හමුවේ පැමිණිලි කර සිටියේය.  මේ සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසම වෙනුවෙන් නීතිඥ තීශය වේරගොඩ මහතා අධිකරණය හමුවේ පෙනී සිටියේය.

ඕනෑම වරදක් සම්බන්ධයෙන් ඕනෑම පොලිස් ස්ථානයක හෝ ඕනෑම බන්ධනාගාරයක් තුළ රඳවා සිටින සැකකරුවකු සම්බන්ධයෙන් නිරීක්ෂණය කර ඔහුගේ සුබසාධනය පිළිබඳ විමර්ශනයක් කිරීමට මානව හිමිකම් කොමිෂන් සභාව සතුව නීතිමය හැකියාව පවතින බැවින් එයට බාධා කිරීමෙන් වැරැදි පූර්වාදර්ශයක් ලබාදෙන්නේ යැයි මානව හිමිකම් කොමිසම අධිකරණය හමුවේ ප්‍රකාශ කර සිටියේය.

මේ පිළිබඳ සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා ඒ සම්බන්ධයෙන් බන්ධනාගාර නිලධාරීන්ගේ අවධානය යොමුකරන මෙන් දැනුම් දී සිටියේය.

නඩුව නැවත ලබන 25 වැනි දින කැඳවීමට නියමිතය.

හංසි නානායක්කාර