දේශපාලන විසඳුමක් ඉල්ලා උතුරේ දින 100ක සත්‍යග්‍රහයක්

0
8

උතුරු – නැඟෙනහිර ජනතාව වෙනුවෙන් පිළිගත හැකි ගෞරවනීය විධිමත් දේශපාලන විසඳුමක් ලබාදෙන ලෙස ඉල්ලා දින 100ක සත්‍යග්‍රහයක් මේ දිනවල උතුරේ දිස්ත්‍රික්ක කිහිපයක ආරම්භ කිරීමට පියවර ගෙන ඇත.

“උතුරු – නැඟෙනහිර ජනතාව උදෙසා ගෞරවනීය අයිතිය සුරකින දේශපාලන විසඳුමක් ලබාදෙනු යන තේමාව යටතේ මෙම දින 100 සත්‍යග්‍රහය ආරම්භ කොට ඇත්තේ උතුරේ විවිධ වූ ස්වේච්ඡා සංගම්, ධීවර සංගම්, කාන්තා සංගම්, මානව හිමිකම් ක්‍රියාකරුවන් ආදී විවිධ වූ ආයතන විසිනි.

දින 100 සත්‍යග්‍රහය 02දා මන්නාරමෙන් ආරම්භ වූ අතර පොරේදා (03දා) කිලිනොච්චියේදීද ආරම්භ කරනු ලැබීය.

සත්‍යග්‍රහය ආරම්භ කරමින් එහි සහභාගි වූවන් කියා සිටියේ,

“යුද්ධයෙන් පසුව උතුරු – නැඟෙනහිර ජනතාවට මේ වන විට අතුරුදන් වූන්ගේ ගැටලු, ධීවර ගැටලු, ආර්ථික ගැටලු, යටිතල පහසුකම් ආදී විශාල වශයෙන් ගැටලු රැසකට මුහුණ පෑමට සිදුව ඇතත් පැවති රජයන් හෝ වත්මන් රජයන් කිසිවකින් කිසිදු විසඳුමක් ලැබී නොමැති හෙයින් උතුරු – නැඟෙනහිර ජනතාවගේ ගැටලු වෙනුවෙන් පිළිගත් විශ්වාසදායි දේශපාලන විසඳුමක් ලබාදෙන ලෙසටය.

මේ හේතුවෙන් ඉදිරි දින 100ක විරෝධතා සත්‍යග්‍රහය ආධාරයෙන් ආණ්ඩුවට මෙන්ම ජාත්‍යන්තරයේද අවධානය යොමු කොට උතුරු – නැඟෙනහිර ජනතාව වෙනුවෙන් ස්ථිර දේශපාලන විසඳුමක් කරා ගමන් කරන බවට සත්‍යග්‍රහයේ නිරත වූවන් වැඩිදුරටත් පැවසූහ.

මුලතිව් – ශෂිකුමාර්