දිස්ත්‍රික්ක දහයක් විපතේ

0
11

දිස්ත්‍රික්ක දහයකට බලපා ඇති ආපදා තත්ත්වයන් ඉදිරි දිනවලදී වර්ධනය විය හැකි  බවත් අධික වර්ෂාව හේතුවෙන් ප්‍රදේශ බොහෝමයක දරුණු අපදා තත්ත්වයන් ඇතිවිය හැකි බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවැසීය. මේ වන විට පුද්ගලයන් තිදෙනෙක් මියගොස් සිවුදෙනෙක් අතුරුදන්ව ඇති බවත් පවුල් 3,194ක පුද්ගලයන් 12,829කට අධික සංඛ්‍යාවක් පීඩාවට පත්ව ඇති බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවැසුවේය.

මේ වන විට ලංකාව පුරා ආපදා ආරක්ෂිත ස්ථාන 15ක් ස්ථාපිත කර ඇති අතර පවුල් 480ක 2,313ක පුද්ගලයන් නේවාසිකව සිටින බවත් නිරිතදිග මෝසම් තත්ත්වය සක්‍රිය වීමෙන් පවතින වැසි තත්ත්වය හේතුවෙන් අතුරුදන් වූ පුද්ගලයන්ගේ සිරුරු තවමත් සොයා ගැනීමට නොහැකි වූ බවත් ආරක්ෂක අංශ සහ ආපදා සහාය කණ්ඩායම් කටයුතු කරන බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.

පවතින අධික වර්ෂා සහගත කාලගුණ තත්ත්වය හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 16කට අයත් පවුල් 1,788ක පුද්ගලයන් 6,896ක පමණ පිරිසක් පීඩාවට පත්ව ඇති බව රත්නපුර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවැසීය.

පවතින අයහපත් කාලගුණික තත්ත්වය නිසා ජීවිත හානි සිදුවූ වැඩිම දිස්ත්‍රික්කය හා වැඩිම ආපදා ආරක්ෂිත මධ්‍යස්ථාන ස්ථාපිත කර ඇති අධි අවදානම් දිස්ත්‍රික්කය වන්නේ තම දිස්ත්‍රික්කය බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලගොඩ සඳහන් කළේය.

මධ්‍යතම කඳුකරය හරහා හමා ගිය දැඩි සුළං හේතුවෙන් හැටන් දික්ඔය ප්‍රදේශයේ වතු නිවාස පේළියක වහලවලට දැඩි අලාභහානි සිදු වූ බවත් දික්ඔය බටල්ගල වතුයායේ ඉහළ කොටසේ වතු නිවාස 16කට මෙලෙස හානි වූ බවත් හැටන් පොලිස් ස්ථානය පැවැසුවේය.

එම වතු නිවාස පේළියේ වහලේ සෙවිලි තහඩු ගැලවී යෑමත් සමඟ වැසි ජලය නිවාසවලට කාන්දු වී ඇති අතර පදිංචිකරුවන් ඒ නිසා දැඩි පීඩාවට පත් වූ බවත් වතු පාලන අධිකාරියේ සහයෝගයමත එම සෙවිලි තහඩු නැවත සවි කිරීමට පියවර ගෙන ඇති බවත් වාර්තා වී තිබේ.

මස්කෙළිය, ශ්‍රී  පාද, නල්ලතන්නිය ප්‍රධාන මාර්ගයේ මොහිණි ඇල්ල අසල ප්‍රධාන මාර්ගයට විශාල ගල් පෙරළීම හේතුවෙන් එම මාර්ගයේ රථ වාහන ගමනාගමනයට බාධා පැමිණ ඇති බව නල්ලතන්නිය පොලිස් ස්ථානය සඳහන් කළේය.

තවදුරටත් පවතින අධික වර්ෂාව හේතුවෙන් හැටන් – කොළඹ, හැටන් – නුවරඑළිය, නුවරඑළිය – ගම්පොල ප්‍රධාන මාර්ගයට පස් ක¾දු කඩා වැටීමේ දැඩි අවදානක් පවතින බවත් ප්‍රධාන මාර්ගයට පස් ක¾දු කඩා වැටීම නිසා ඇතැම් ස්ථානවල මාර්ගය එක් මංතීරුවකට පමණක් සීමා කර ඇති බවත් එම මාර්ගවල ධාවනය කිරීමේදී කිසිදු අවස්ථාවක වාහන මාර්ගය අබියස ගාල් නොකරන ලෙස රියැදුරන්ගෙන් ඉල්ලා සිටින බවත් නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ රංජිත් අලහකොන් පැවැසීය.

මධ්‍යම ක¾දුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට තවදුරටත් ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ, නුවරඑළිය සහ හැටන් කලාප අධ්‍යාපන කාර්යාල යටතේ පාලනය වන පාසල්වලට ඊයේ දින නිවාඩු ලබාදීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ. ගමගේ පියවර ගෙන ඇත.

නායයෑම පිළිබඳ රතු නිවේදනයක් නිකුත් කර තිබූ මහනුවර, නුවරඑළිය, මාතලේ, කෑගල්ල, රත්නපුර, මාතර, හම්බන්තොට යන දිස්ත්‍රික්ක සඳහා එය තවමත් පවතින බව ජාතික ගොඩනැඟිලි

පර්යේෂණ සංවිධානයේ නායයෑම් පර්යේෂණ අංශ අධ්‍යක්ෂ ආචාර්ය ගාමිණි ජයතිස්ස පැවැසීය. 

ඒ අනුව එම දිස්ත්‍රික්කවල අවදානම් ප්‍රදේශ අසල සිටින ජනතාව අවධානයෙන් කටයුතු කළ යුතු බවත් නායයෑම් පර්යේෂණ ආයතනය විසින් නිකුත් කරන නිවේදන සම්බන්ධයෙන් විමසිලිමත්ව සිටිය යුතු බවත් ඔහු සඳහන් කළේය.

නිරිතදිග මෝසම් තත්ත්වය සක්‍රිය වීමෙන් පැවැති වැසි තත්ත්වය තවදුරටත් පැවැතිය හැකි බවත් රට හරහා සිදුවන සුළං හැමීම ඉදිරි දිනයන්හි වැඩි වීමක් වාර්තා වන බවත් කාලගුණ විද්‍යා  දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක පැවැසීය. 

නිරිතදිග මෝසම් තත්ත්වයේ සක්‍රිය වීම නිසා පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල්, මන්නාරම හරහා කන්කසන්තුරය වෙරළට ඔබිබෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60-70 දක්වා වැඩි විය හැකි බවත් මුහුදු රළ උස මීටර් 3.0 – 3.5 පමණ ඉහළ යෑමට හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක පැවැසීය. 

එබැවින් පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල නැවත දැනුම් දෙන තුරු ධීවර සහ නාවික කටයුතුවල නොයෙදෙන ලෙස ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටින බවත් ඔහු වැඩිදුරටත් පැවැසුවේය.

අධික වර්ෂාපතනය හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ නාවලපිටිය සහ හැටන් අතර දුම්රිය මාර්ගයට පස්ක¾දු කඩා වැටීම නිසා මේ වන විට අවලංගු කර තිබෙන කොටුව සහ බදුල්ල අතර දුම්රිය ධාවනය තවදුරටත් ක්‍රියාත්මක නොවන බවත් දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මිතුන් ජයවර්ධන

නොර්වුඩ් _ නීටා පත්ම කුමාරි

මහනුවර – කේ.එල්. සුරවීර,

කුරුවිට – කේ.ඒ.එස්.පියතිලක