ඩලස්ගේ කණ්ඩායම හා වෘත්තීය සමිති අතර විශේෂ සාකච්ඡාවක්

0
9

ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණේ ඩලස් අලහප්පෙරුම මන්ත්‍රිවරයාගේ කණ්ඩායම සහ වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකතුව අතර විශේෂ සාකච්ඡාවක් කොළඹදී ඊයේ (04දා) පැවැත්විණි.

හදිසි නීතිය පැනවීම, වෘත්තීය සමිති නායකයන් හා අරගලකරුවන් අත්අඩංගුවට ගැනීම, සර්වපාක්ෂික ආණ්ඩුවකට ජනාධිපතිවරයා ආරාධනා කර තිබීම, වෘත්තීය සමිති හා බහුජන සංවිධාන හෙට 06  නුගේගොඩදී පවත්වන රැලිය කරන ආකාරය ඇතුළු වත්මන් දේශපාලන කරුණු කිහිපයක් සම්බන්ධව මෙහිදී සාකච්ඡාවට ලක්ව තිබේ.

ශ්‍රී  ලංකා පදනම් ආයතනයේ පැවැති මෙම සාකච්ඡාව සඳහා වෘත්තීය සමිති හා බහුජන සංවිධාන නියෝජිතයන් සහ ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණේ ඩලස් අලහප්පෙරුම, ජී. එල්.පීරිස්, ඩිලාන් පෙරේරා, චන්න ජයසුමන, වසන්ත යාපා බණ්ඩාර ඇතුළු පිරිසක් එක් වූහ.

මහින්ද රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ පාලන සමයන්හිදී හදිසි නීතියට විරුද්ධ වූ රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්ව පැය විසි  හතරක් යෑමට මත්තෙන් හදිසි නීතිය පනවා ඇතැයි මෙහිදී අදහස් දැක්වූ ඩිලාන් පෙරේරා පැවැසීය. රාජපක්ෂගේ ආණ්ඩුව ගෙදර යැවීම සඳහා පමණක් රනිල් වික්‍රමසිංහ හදිසි නීතිය පිළිබඳ කාරණය ප්‍රකාශ කළේ දැයි සැකයක් ඇතිවන බවද මන්ත්‍රිවරයා සඳහන් කළේය.

අරගලකරුවන්ට නොදැනෙන ආකාරයට අරගලය පාව්චිචි කරමින් රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වූයේදැයි යම් සැකයක් මතුවන බවද හෙතෙම ප්‍රකාශ කළේය.

වෘත්තීය සමිති මර්දනය නතර කොට ජනතාව පෝලිම්වලින් ඉවත්කර අවශ්‍ය ඉන්ධන හා ආහාර ද්‍රව්‍ය ලබාදීමට රජය පියවර ගත යුතු යැයි වසන්ත  යාපා බණ්ඩාර මන්ත්‍රිවරයා මෙහිදී පැවැසීය.

ජනාධිපතිවරයා වරදාන වරප්‍රසාද දී සර්වපාක්ෂික ආණ්ඩුවකට මන්ත්‍රිවරුන් එකතු කරගන්නේ දැයි සැකයක් ඇතිවන බවද බණ්ඩාර මහතා සඳහන් කළේය.

අමිත් මධුරංග ගමගේ