ගෝල්ෆේස් අරගලකරුවන්ගෙන් පෙත්සම් 4ක්

0
24

ගාලුමුව‍ෙදාර අරගල භූමියේ ඉදිකරනු ලැබ ඇති සියලු තාවකාලික ඉදිකිරීම් හා වගාකොට ඇති භෝග ආදියද ඉවත් කරගෙන.  සිකුරාදා (5දා) අද සවස 5.00ට පෙර එම භූමියෙන් ඉවත්වන ලෙසට පොලිසිය විසින් කරනු ලැබ ඇති නියෝගය සාධාරණ යුක්තියට පටහැනි බැවින් එම නියෝගය ක්‍රියාත්මක කිරීම අත්හිටුවන නියෝගයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටිමින් මාස 3කට ආසන්න කාලයක් තිස්සේ එහි රැඳී සිටි විරෝධතාකරුවන් විසින් ඊයේ (4දා) අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සම් 4ක් ගොනු කරනු ලැබීය. 

සිය පෙත්සම් මඟින් ඔවුන් ප්‍රකාශ කොට ඇත්තේ සාමකාමී විරෝධතාකරුවන් හට කිසිදු බාධාවක් හෝ අවහිරයක් සිදු නොකරන බවට රාජ්‍ය නායකයා වශයෙන් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදීම විවෘත ප්‍රකාශයක් පෙරේදා (3දා) සිදුකරනු ලැබ තිබියදීත්, පොලිසිය අත්තනෝමතික ලෙස කටයුතු කරමින් සාමකාමීව විරෝධතාවක යෙදී සිටින  විරෝධතාකරුවන් ගාලුමුව‍ෙදාර රජයෙන්ම වෙන්කර ඇති විරෝධතා භූමියෙන් ඉවත් කිරීමට මෙලෙස පියවර ගෙන ඇති බවය.

මෙම පියවර සාධාරණ යුක්ති ධර්මයටත්, ශ්‍රී  ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් මූලික අයිතිවාසිකම් ලෙස සහතික කොට ඇති නිදහසේ සිය අදහස් ප්‍රකාශ කිරීමට ඇති මූලික අයිතියටත් පටහැනි හෙයින් මෙම පෙත්සම් විභාගයට ගැනීමටත් පෙර ඒවා කැඳවනු ලබන මුල් අවස්ථාවේදීම අතුරු සහනයක් ලෙස ඉහත නියෝගය ලබාදෙන ලෙස ඔවුන් ඉල්ලා සිටිති. 

ජාත්‍යන්තර රතුකුරුස සංගමයත්, ශාන්ත ජෝන් ගිලන් රථ සේවාවත් ඇතුළු විවිධ ජාත්‍යන්තර හා ජාතික සංවිධාන හා විවිධ ආගමික සංවිධානවලින්ද මෙම අරගල භූමියේ රැඳී සිටිමින් විවිධ ආකාරයෙන් තමන් හට ආධාර උපකාර කරනු ලැබූ බවද කිසිදු විටෙක තමන් එම ස්ථානයේ සාමය කඩවන ආකාරයේ කිසිදු කටයුත්තක නොයෙදුණු බවද පෙත්සම්කරුවෝ වැඩිදුරටත් ප්‍රකාශ කරති.

කමල් මහේන්ද්‍ර වීරරත්න