ග්ලයිපොසේට් තහනම ඉවත් කිරීම ගැන අමාත්‍ය මණ්ඩලයට යෝජනා කරන්න යයි

0
7

ග්ලයිපොසේට් තහනම ඉවත් කිරීම සම්බන්ධව විවිධ පාර්ශ්වයන්හි අදහස් හා යෝජනා ලබාගැනීම මත ඉදිරි සති කිහිපය තුළ එම තහනම ඉවත් කිරීම  සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයට යෝජනා කරන බව කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර පැවැසීය.

ආහාර බෝග වගාවට ප්‍රමුඛත්වය දීමේදී බඩඉරිඟු, තේ, වී, මිරිස්, කවුපි, මුං ඇට, සෝයා බෝංචි මෙන්ම අල බෝග හා කෙසෙල් වැනි වගාවන්හි සාර්ථක අස්වැන්නක් ලබාගැනීමට නම් ප්‍රබල වල්පැළෑටි නාශකයක් වන ග්ලයිපොසේට් තහනම් කිරීමේ ගැසට්ටුව ඉවත් කළ යුතු බවට කෘෂි විද්වතුන්, ගොවි නියෝජිතයන්, ගොවි සංවිධාන මෙන්ම බීජ හා පැළ නිෂ්පාදකයන්ගේ සමිති හා බඩඉරිඟු ආනයනකරුවන්ගේ සංගමයද අදහස් හා යෝජනා  ඉදිරිපත් කර තිබේ.

කෘෂිකර්ම ඇමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් කෘෂි පර්යේෂණ හා නිෂ්පාදන සහකාරවරුන්ගේ සංගමය සමඟ පැවැති සාකච්ඡාවකදී ග්ලයිපොසේට් වල්පැළෑටි  නාශක තහනම ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස එම සංගමය ඇමැතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.

මේ වනවිටද ග්ලයිපොසේට් තහනම් කර තිබුණත් ඇතැම් ව්‍යාපාරිකයන් හොර රහසින් ඉන්දියාවේ සිට ගෙන්වා ලීටර් 04ක් රුපියල් 12,500ක් වැනි වැඩි මිලට අලෙවි කරන බව එහදී අනාවරණය වී තිබේ. මෙම කාරණය සම්බන්ධව කෘෂිකර්ම විෂය පිළිබඳ විද්වතුන්ගෙන් අදහස් විමසා ඇති අතර, ඔවුන් ග්ලයිපොසේට් තහනම ඉවත් කිරීම සම්බන්ධව තම අදහස් හා යෝජනා ඉදිරිපත් කර ඇති බවද මෙහිදී අමාත්‍යාංශයේ නිලධාරීන් තහවුරු කර ඇත. එමෙන්ම ඉදිරි කාලය තුළ ශ්‍රී  ලංකාවේ පුළුල් කෘෂිකාර්මික වගා වැඩපිළිවෙළක් ඇරඹීමට කෘෂිකර්ම අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ.

නිර්මාණි ගුණරත්න