ගල්කිස්ස උසාවිය ඇතුළටම ඇවිත් විත්ති කූඩුවේ සිටි සැකකරුට වෙඩි තියලා

0
25

ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයේ විත්ති කූඩුවේ සිටි පුද්ගලයකු ඉලක්ක කර ගනිමින් අද පස්වරු 1.45ට පමණ වෙඩි තැබීමක් සිදුවිය. වෙඩි තැබීමෙන් කිසිවකුටත් හානියක් සිදුවී නොමැත.

වෙඩික්කරුගේ ඉලක්කය වූ පුද්ගලයා වයස අවුරුදු 35ක් පමණ වන වැලිගම ප්‍රදේශයේ පදිංචි වැල්ලවත්ත පොලිසිය විසින් ගොනු කරන ලද මූල්‍ය වංචාවක් සම්බන්ධ නඩුවක විත්තිකරුවෙකි. අදාළ නඩුවේ සාක්ෂි විමසීම් ආරම්භ කරන අවස්ථාවේදී විත්තිකූඩුවේ සිටි මෙම පුද්ගලයා ඉලක්ක කර වෙඩි තැබීම සිදුකර ඇති අතර එහිදී වෙඩි ප්‍රහාරය වැදී නොමැත.

වෙඩි තැබීමෙන් පසු ශාලාවෙන් පිටතට පැමිණි තුවක්කුකරු අහසටද වෙඩි තබා පලාගොස් තිබිණි.

වෙඩි ප්‍රහාරය එල්ල වීමත් සමඟ මහෙස්ත්‍රාත් අධිකරණයේ කටයුතු මඳ වේලාවකට නතර කරනු ලැබීය.

කෙසේ වෙතත්, අධිකරණ භූමියට ඇතුළුවන ස්ථානයේද පොලිස් නිලධාරීන් ගිනි අවි සහිතව ආරක්ෂක රැකවලේ යෙදී සිටියදී අවියක් අතැතිව සැකකරු උසාවියට ඇතුළු වී ඇති අතර වෙඩි තැබීමෙන් පසු පලාගොස් තිබිණි.

ගල්කිස්ස මූලස්ථාන පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.  

කීර්ති මෙන්ඩිස්, ගල්කිස්ස – ජානක ගෝමස්