ගමක් හඬවා මියගිය මිත්තණියගේත් මිනිපිරියගේත් අවසන් කටයුතු කෙරෙයි

0
33

ගිනිගත්හේන ප්‍රදේශයට ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් සැඩ පහරට හසුවී ගසාගෙන ගොස් ජීවිතක්ෂයට පත් වූ මිත්තණිය සහ මිනිපිරියගේ අවසන් කටයුතු ඊයේ (04දා) හගරාපිටිය බොකරබැවිල ඔවුන් පදිංචිව සිටි ඉඩමේදී සිදුකරනු ලැබූහ.

මෙසේ සැඩ පහරට හසුවී මියගියේ එන්.එම්. ආරියවතී (62) සහ ඩී.ජී. දහම්සා සංජීවනී (05) නමැති පෙර පාසල් දැරියකි.

ඉකුත් 01 දින පෙර පාසල් අවසන් වී සිය මිත්තණිය සමඟ නිවෙසට යමින් සිටියදී පොල්පිටිය හිටිගේගම විහාරස්ථානය අසලින් කැලණි ගඟට ජලය ගලා බසිනා ඇළ මාර්ගය තරණය කරන අවස්ථාවේ මොවුන් දෙදෙනා සහ එම දැරියගේ සොහොයුරියක සැඩ පහරට හසු වී ගසාගෙන ගිය අතර දැරියගේ සොහොයුරිය ගසක අත්තක් අල්ලාගෙන අනතුරෙන් බේරී තිබිණි.

ඇයද තුවාල ලබා ගිනිගත්හේන ප්‍රාදේශීය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබා ඇත.

ඔවුන්ගේ දේහයන් ඊයේ (04දා) පස්වරුව වන තෙක් හගරාපිටිය බොකරබැවිල නිවෙසේ තැන්පත් කර තිබූ අතර මියගිය දෙදෙනාට අවසන් ගෞරව දැක්වීම සඳහා විශාල පිරිසක් එම නිවෙසට පැමිණ සිටියහ.

නොර්වුඩ් _ නීටා පද්මකුමාරි