කිව් ආර් සංකේතයෙනුත් වංචා

0
9

බොහෝ ඉන්ධන පාරිභෝගිකයන් තම කිව්.ආර්. සංකේතය කොමිනිකේෂන්වලින් සකසා ගැනීමේදී ඇතැම් කොමිනිකේෂන් හිමිකරුවන් සහ සේවකයන් ඒවායේ පිටපතක් ගෙන ඒවා ඉන්ධනහල්වලට රැගෙනගොස් තම යතුරුපැදිවලට මෙන්ම ත්‍රිරෝද රථවලට ඉන්ධන ලබාගැනීමේ ජාවාරමක් ක්‍රියාත්මක වීමෙන්   සෙවණපිටිය, මනම්පිටිය ප්‍රදේශවල පෝලිම්වල සිට ඉන්ධන ලබාගැනීමට පැමිණි පිරිස් අසරණ වෙති.

මනම්පිටිය, ඉන්ධන පිරවුම්හලට ඉකුත්දා කිව්.ආර්. සංකේත ක්‍රමය අනුව පෙට්රල් ලබා ගැනීමට පැමිණි කිහිපදෙනකුට එම සිද්ධියට මුහුණ පෑමට සිදුවිය. ඔවුන් කොමිනිකේෂන්වලින් කිව්.ආර්. සංකේතය නිර්මාණය කර ගැනීමේදී එම ආයතන හිමියන් සහ සේවකයන් පිටපතක් තබාගෙන ඇතැයි පැවසේ. ඔවුන් අවට ඉන්ධනහල්වලට ගොස් ඉන්ධන ලබාගෙන ඇති බවට තහවුරු වී ඇති බවද ඉන්ධනහල් සේවකයෝ සඳහන් කරති.

බොහෝ වැඩිහිටියන්, සහ අසරණ මිනිසුන් කොමිනිකේෂන්වලට ගොස් තම කිව්.ආර්. සංකේතය සකසා ඉන්ධනහල් වෙත ගියද එම කිව්.ආර්. සංකේතයට ඉන්ධන ලබාගෙන ඇති බවට සටහන් වී ඇති බව පවසයි. එහිදී ඉන්ධනහල් සේවකයන් පවසා ඇත්තේ කිව්.ආර් සංකේතයට වෙනත් අයවලුන් පැමිණ පෙට්රල් ලබාගෙන ගොස් ඇති බවයි.

මේ පිළිබඳව අප මනම්පිටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අසේල සරත් කුමාර මහතාගෙන් දුරකථනයෙන් කළ විමසීමට සඳහන් කළේ එවැනි තත්ත්වයන්ට තමන් මුහුණ දුන්නොත්, ඒ පිළිබඳව තොරතුරු ඇතොත් වහාම පොලිසියට පැමිණ පැමිණිල්ලක් කරන ලෙසයි. කොමිනිකේෂන්වලින් කිව්.ආර්. සංකේත සැකසීමේදී එහි පිටපතක් කොමිනිකේෂන් හිමිකරුවන්ට හා සේවකයන්ට ලබා ගැනීම්ට ඉඩ නොදෙන ලෙස ඉල්ලා සිටියි.

මනම්පිටිය – නිමල් ජයරත්න