කබලෙන් ළිපට වැටුණු ජනතාව පිලිස්සී යන්නට පෙර…

0
9

ගෑස් නැත. ඉන්ධන නැත. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟවී ඇත. මිලදී ගැනීමට ජනතාව අතේ මුදල්ද නොමැත. මෑත ඉතිහිසයේ නොවූ විරූ අයුරින් අසරණ ජනතාව අපාදුක් විඳිති. පෝලිම්වල මියයති. සුර සැප විඳින පාලකයෝ දේශපාලන බයිලා කියමින් කල්මරති. රටත් ජනතාවත් දැඩි දේශපාලන, ආර්ථික හා සමාජ ව්‍යසනකාරී තත්ත්වයකට පත්ව සිටිති.

“අන්තෝ ජටා – බහිජටා” හිසින් යුතුව 2022 ජුනි මස 22 ‘මව්බිම’ පුවත්පතේ කතුවැකිය තුළින්ද රට තුළ ඇති අවුල් සහගත තත්ත්වය පිළිබඳ මනා විග්‍රහයක් කර තිබිණි. ආණ්ඩුවේ අමනෝඥ තීරණ හේතුවෙන් හැමදාමත් තැළෙන්නේ, පොඩිවෙන්නේ මේ රටේ දහදුක්විඳින බදුබර, ණයබර උහුලන ජනතාව බව එහි පැහැදිලිවම සඳහන් කර තිබේ. සැබැවින්ම සත්‍යය එයයි. කබලෙන් ළිපට වැටුණු ජනතාව දැවී පිලිස්සී යන්නට පෙර එයින් ගොඩගන්නවා වෙනුවට 21 වැනි ව්‍යවස්ථා සංශෝධනවලින් හෝ කෝකටත් තෛලය මෙන් පත්කරන ජනාධිපති කොමිෂන් සභා, කාර්යයසාධක බළකායන් හෝ කමිටු මඟින් ගැටලුවට විසඳුම් ලැබෙන්නේ නැත.

මීට මාස කිහිපයකට පෙර එ.ජා.ප. සභාපති වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කර සිටියේ “රනිල් ආවොත් පැය 48න් පෝලිම් අවසන් කරන බවයි.” රනිල් වික්‍රමසිංහ මහතා අගමැති වී ප්‍රකාශ කර සිටියේ “පෝලිම් නැති තුන්වේල කන්න හැකි රටක් හදන බවයි.” එහෙත් සිදුවූයේ කුමක්ද? එක පෝලිම දෙක තුනවී තිබේ. තුන්වේල කනවා කෙසේ වෙතත් ජනතාවට වේලක් කෑමටවත් නොහැකි තත්ත්වයකට පත්ව සිටිති. වික්‍රමසිංහ මහතා දැනටත් කියමින් සිටින්නේ අනාවැකියන්ය.

දේශපාලකයන් ඩොලර් මිලියන, බිලියන ගණනින් ණය ගනිමින්, ආසියාවේ ආශ්චර්යය, සෞභාග්‍යයේ ඉදිරි දැක්ම කියමින් මෙරට ජනතාව ගොනාට අන්දමින් කළ බොරුව, දූෂණය, වංචාව නිසා රට සංවර්ධනය කිරීම කෙසේ වෙතත් ජනතාව සුඛිත මුදිත කිරීම කෙසේ වෙතත් මජර දේශපාළුවන්, දේශදෝහී පාලකයන්ට වැටුප් වරප්‍රසාද සමඟ සුරසැප විඳීමටත් ණයබරින්, ජීවනබරින් හෙම්බත්ව පෝලිම්වල හාමතේ සිටිමින්, රාත්‍රියට කළුවරේ සිටිමින් අසරණ පීඩිත ජනතාවට කුසගින්නේ මිය යන්නටත් සිදුවීම ජාතියේ අවසනාවක් අභාග්‍යයක්ම නොවේද?

හිටපු ජනපති මහින්දටත් වඩා විශ්වාසයක් තබා මේ රටේ ජනයා ලක්ෂ 69ක ජනවරමක් ලබාදී ජනාධිපතිවරයකු පත් කළේත් 2/3ක බලයක් ලබාදී ජනවරමක් ඇති රජයක් පත් කළේත් ජනපතිගේ හෝ මැති ඇමැතින්ගේ අ‍ෙ¼දා්නා, අනාවැකි, අසන්නට නොවේ. අර්බුදයට හේතු අසන්නට නොවේ. “මට වැරදුණා, “සමාවෙන්න” යන කීම් විරහිත බොළඳ කතා අහන්නටද නොවේ. මුදල් ඇමැතිවරුන් 5 දෙනකුත්, බලශක්ති ඇමැතිවරුන් 4 දෙනකුත් විටින්විට පත් කළේත් ආර්ථික අර්බුදයට තිරසර විසඳුමක් ලබාදෙන්නට ඔවුන් අසමත් විය.

2022 ජුනි 21 අඟහරුවාදා ‘මව්බිම’ පුවත්පතේ (පිටු 8) “රට ගොඩනැඟීමට තිබෙන එකම ක්‍රමය ගෝඨා – රනිල් හොර ආණ්ඩුව පන්නා දැමීමයි” ශිර්ෂ පාඨය යටතේ පළමු වාර්තාවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසා තිබුණේ “ඉලක්කගත කාල වකවානු සහිත කාලරාමු තුළ රට ඉදිරියට ගෙන යෑමේ වැඩපිළිවෙළත් සමගි ජන බලවේගය සතුව පවතිනවා” යනුවෙනි.

“අගමැතිකමයි කැබිනට්ටුවයි අපිට දුන්ණොත් මාස 6න් රට ගොඩ ගන්නවා” යනුවෙන් (2022 ජුනි 27 ‘මව්බිම’ මුල් පිටුවේ) ජාතික ජන බලවේගයේ නායක (පා.ම.) අනුර කුමාර දිසානායක මහතා කර ඇති ප්‍රකාශයක් පළ වී තිබිණි.

සැබැවින්ම වර්තමානයේදී රටට ජනතාවට අවැසිවන්නේ දේශපාලකයන්ගේ අනාවැකි, විග්‍රහයන් හෝ මාධ්‍ය ප්‍රකාශයන් නොව ජනතාවගේ දැවෙන ප්‍රශ්නවලට කඩිනම් විසඳුම්ය. එහිදී විසඳුම් ලැබෙන්නේ මෛත්‍රිගෙන්ද, රනිල්ගෙන්ද, සජිත්ගෙන්ද, අනුර කුමාරගෙන්ද කියා අපට වැදගත් නැත. දියේ ගිලෙන්නට යන මිනිසාට පිදුරුගසත් සවියකි. හොර මජර දූෂිත දේශපාළුවන් ජනතාවගෙන් ගසා කෑ හොරකම් කළ ධනය “ස්විස් බැංකුවල”, “පැන්ඩෝරා පේපර්වල” හෝ “පැනොමා පේපර්වල” තැන්පත් කරගෙන සඟවාගෙන සිටී නම් කඩිනමින් එම මුදල් මෙරටට ගෙන්වාගෙන ජනතාවට සහන සලසා මේ ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීමට ජනාධිපතිතුමා නොපමාව ක්‍රියා කළ යුතුය. පවුල් රකින්නට පෙර රටත් ජනතාවත් මේ ව්‍යවසනයෙන් රැකගත යුතුය.

බී.එච්. රසික ප්‍රියංකර පෙරේරා පොතුපිටිය – වාද්දුව