කතරගමට පාද යාත්‍රාවෙන් යන අය අද හවස 5ට පෙර කුමනෙන් යන්න

0
45

කතරගම යෑම සඳහා කුමන ජාතික වන උද්‍යානය හරහා පා ගමනින් පිටත් වන බැතිමතුන්ට අද (05 වැනිදා) පස්වරු 3.00න් පසුව කුමන ජාතික වන උද්‍යානයේ පිවිසුම් ‍ෙදාරටුව වසා දමන බව නැඟෙනහිර වනජීවී අධ්‍යක්ෂ ප්‍රසාන්ත විමලදාස මහතා පැවැසීය.

අගෝස්තු 07 වැනිදායින් පසුව කුමන ජාතික වන උද්‍යානයේ පාදයාත්‍රාකරුවන්ට රැඳීමට ඉඩ නොදෙන බවද ඔහු පැවැසීය. එම පිරිසට යාල කොටස් අංක දෙකට පිටත්වීමට අවස්ථාව ඇති අතර එසේ නොමැති නම් කුමන ජාතික වන උද්‍යානයේ පිවිසුම් දෙරටුවෙන් ආපසු පිටත්වීමට අවස්ථාව ඇති බවද සඳහන් කළේය.

ඉකුත් 03 වැනිදා වන විට කුමන පිවිසුම් ‍ෙදාරටුවෙන් පුද්ගලයන් 28796ක් කතරගම බලා පිටත්වී තිබේ. ජූලි මස 30 වැනිදා පමණක් කුමන පිවිසුම් ‍ෙදාරටුවෙන් බැතිමතුන් 8270ක් පිටත්ව ගොස් තිබේ. මෙම පාද යාත්‍රා වාරයේදී එක් දිනයක පිටත්ව ගිය වැඩිම පිරිස එය බවද පැවැසේ.

මෙම බැතිමතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ශ්‍රී  ලංකා යුද හමුදාව සහ නාවික හමුදාව සහ වනජීවී නිලධාරීහු කටයුතු කළහ. ලාහුගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ ලාහුගල ප්‍රාදේශීය සභාවද මෙම ජනතාවට අවශ්‍ය පහසුකම් ලබාදීමට කටයුතු කර තිබේ. අම්පාර පළාත් නියෝජ්‍ය සෞඛ්‍ය කාර්යාලය මෙහෙයවීමෙන් බැතිමතුන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමට කටයුතු කර තිබේ.

මේ වන විටත් කුමන ජාතික වන උද්‍යානය තුළදී වන සතුන්ගෙන් බාධාවකින් තොරව බැතිමතුන්ට ගමන් කිරීමට හැකිවී ඇති බවද වාර්තාවේ.

අම්පාර – ධනුෂ්කා දිල්හානි