එංගලන්තයට යන ශ්‍රී ලංකා යොවුන් පිලේ සුක්කානම රවීන්ට!

0
26

ශ්‍රී  ලංකා අවුරුදු 19න් පහළ ජාතික කණ්ඩායම සිවුදින සහ එක්දින ක්‍රිකට් තරගාවලියකට එක්වීම සඳහා ඉදිරි සතියේදී එංගලන්තය බලා පිටත්ව යෑමට නියමිතව ඇති බව වාර්තා වේ.

මෙම තරගාවලියට එක්වන 18 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයක් නම්කර ඇති අතර, ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය සඳහා යවා ඇති එම සංචිතය කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය කේන්ද්‍ර කරගනිමින් මේ වනවිට පුහුණුවීම් අරඹා ඇති බවද සඳහන්ය.

එහිදී පසුගිය යොවුන් ලෝක කුසලානයට එක්වූ රවීන් ද සිල්වා, ශෙවොන් ඩැනියෙල්, මල්ෂ තරුපති, පවන් පතිරාජ, රනුද සෝමරත්න යන ක්‍රීඩකයන් මෙන්ම සදිෂ රාජපක්‍ෂ, හසිත අමරසිංහ, වනුජ සහන්, කැනිස්ටන් ගුණරත්නම්, අංජල බණ්ඩාර වැනි ක්‍රීඩකයන්ද ඇතුළත්ව ඇතැයි පැවැසෙන අතර, ශ්‍රී ලංකා කණ්ඩායමෙහි නායකත්වය කොළඹ නාලන්දා විදුහලේ රවීන් ද සිල්වාට හිමිව ඇතැයිද පැවැසේ.

කෙසේ වෙතත් ශ්‍රී  ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරය 14 වැනිදා ආරම්භවීමට නියමිතව ඇති අතර, එයට සිවුදින තරග 2ක් සහ එක්දින තරග 3ක් ඇතුළත්ව ඇතැයිද දැනගන්නට ඇත.

විචිත්‍ර වීරසිංහ