ඉහළ යන ජීවන වියදම අවම කිරීමට කඩිනම් වැඩපිළිවෙළක් සකස් කරනවා

0
17

ඉහළ යන ජීවන වියදම අවම කිරීමට ජනාධිපතිවරයා සහ කැබිනට් මණ්ඩලය සමඟ සාකච්ඡා කොට කඩිනම් වැඩපිළිවෙළක් සකසන බව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා ඇමැති නලින් ප්‍රනාන්දු සඳහන් කළේය. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ විශේෂ නිරීක්ෂණ චාරිකාවකට පසුගියදා එක්වෙමින් ඇමැතිවරයා මෙසේ පැවැසීය.

ගොවියාගේ අස්වැන්න දිගු කාලයක් සුරක්ෂිතව තබාගැනීමේ අරමුණින් ප්‍රථම වරට මෙරට ඉදිකෙරෙන දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට අනුබද්ධ ශීතාගාරය ඇමැතිවරයාගේ නිරීක්ෂණයට ලක්වූ අතර එහි වැඩකටයුතු කඩිනමින් අවසන් කරන ලෙස අදාළ බලධාරීන්ට උපදෙස් දී ඇත.

මඩකළපුව ප්‍රදේශයේ ඉදිකරන ලද සතොස අලෙවිසලේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ ඇමැතිවරයා කිරිපිටි වැනි අත්‍යවශ්‍ය ආහාර හිඟයකින් තොරව කඩිනමින් එම ප්‍රදේශ කරා ලබාදීමට කටයුතු කරන ලෙසද අදාළ බලධාරීන්ට උපදෙස් දී තිබේ.රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාව මඟින් ඉදිකිරීමට නියමිත ‘රජවාස’ වෙළෙඳ සංකීර්ණයේ වත්මන් තත්ත්වයද මෙහිදී ඇමැතිවරයාගේ නිරීක්ෂණයට ලක්ව තිබේ. එමෙන්ම මෙම වෙළෙඳ සංකීර්ණය තුළින් ඉදිරියේදී රජයේ නිෂ්පාදන වගකීමක් සහිතව එකම වහලක් යටින් මිලදී ගැනීමට පාරිභෝගිකයාට හැකියාව ලැබෙනු ඇත.

මෙම අවස්ථාවට වෙළෙඳ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ජීවනාදන්, රජයේ වාණිජ නීතිගත සංස්ථාවේ සභාපති යෝගා පෙරේරා, මඩකළපුව දිසාපති කේ. කරුණාකරන්, සහකාර දිසාපති නවේස්වරන් ඇතුළු නිලධාරි පිරිසක් සහභාගි වූහ.

සඳුනි ගමාරච්චි