ඉන්ධන කෝටාව ප්‍රමාණවත් නෑ; අංජන බස් ධාවනය නවතයි

0
8

ඉන්ධන කෝටාව ප්‍රමාණවත් නොවන බව පවසමින් පෞද්ගලික බස් රථ ඊයේ (04දා) මධ්‍යම රාත්‍රියේ සිට ධාවනයෙන් ඉවත් වූ බවත් ඉන්ධන නිසියාකාරව පෞද්ගලික බස් රථවලට රජය මඟින් ලබානොදීම හේතුවෙන් මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක බවත් සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියංජිත් පැවැසීය.

කිව්.ආර්. කේතයට අනුව බස් රථ සඳහා සතියකට ලීටර් 40ක් ලබාදීම කිසිවිටෙකත් ප්‍රායෝගික නොවන බවත් නිසියාකාරයෙන් ඉන්ධන ලබානොදීම නිසා පසුගිය සති කිහිපය පුරාම බස් රථ විශාල සංඛ්‍යාවක් ධාවනය නොවූ බවත් හෙතෙම කීය.

දකුණු පළාත් බස් රථ හිමියන්ගේ සංගමය ප්‍රමුඛ දිස්ත්‍රික්ක කිහිපයකම සංගම් විසින් මේ වනවිටත් විරෝධතාවන් දක්වන බවත් ඒ අනුව මේ සියලු සංගම් සමඟ පොදු එකඟතාව පරිදි අද දිනයේ සිට ධාවන කටයුතුවලින් ඉවත් වීමට තීරණය කරන ලද බවත් ඔහු සඳහන් කළේය.

බස් කර්මාන්තකරුවන් මේ වනවිට වැඩ වර්ජනයන්වලට යෑම වෙනුවට තම රැකියාව සිදු කරගත නොහැකිව අසරණව සිටින බවත් බස් රථ සියයට හැටක් පමණ ඉන්ධන ලබාගත නොහැකිව රැකියාව සිදු නොකරන බවත් ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පැවැසීය.

පෞද්ගලික බස් රථ සඳහා ලංගම ඩිපෝ මඟින් ඉන්ධන ලබාගැනීමට රජය පියවර ගෙන ඇති බවත් ලංගම සේවකයන් විවිධ වංචනික ක්‍රියාවන්වල යෙදීම හේතුවෙන් ඉන්ධන නිසියාකාරයෙන් ලබානොදෙන බවට ඔහු චෝදනා කළේය.

මිතුන් ජයවර්ධන