ආණ්ඩුව මර්දනයෙන් බැහැර නොවුණොත් අපි මහජන ව්‍යාපාරයකට ප්‍රවේශ වෙනවා

0
24

මේ ආණ්ඩුව මර්දනයෙන්  බැහැර නොවුණොත් මර්දනයට විරුද්ධව ප්‍රජාතන්ත්‍රවාදීව නිදහස් නිවහල් සාමකාමී ප්‍රචණ්ඩත්වයෙන් තොර මහජන ව්‍යාපාරයකට අපි ප්‍රවේශ වෙනවා යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (4දා) පැවැති  “සර්වපාක්ෂික එකමුතුව” මාධ්‍ය හමුවේදී විපක්ෂ නායකවරයා මෙසේ සඳහන් කළේය.

ඔහු වැඩිදුරටත් මෙසේද කීය.

වර්තමාන ආණ්ඩුව ක්‍රියාත්මක කරන මහජන මර්දනකාරී, ජනපීඩිත, අනීතික මර්දනය හෙළා දකිමින් ඒ වගේම මේ රටේ ජනතාවගේ සිවිල් පුරවැසි අයිතිය මානව අයිතිය ජීවත් වීමේ අයිතිය උල්ලංඝනය කරමින් මේ කරන්නා වූ ජනතා විරෝධී ක්‍රියාදාමයට විරුද්ධත්වය ප්‍රකාශ කරනවා පමණක් නෙවෙයි. ජන පීඩක ජනඝාතක ක්‍රියාවලින් වහාම ඉවත් වෙලා රටේ ජනතාවගේ මානව අයිතිවාසිකම් සුරක්ෂා වෙන ආකාරයට හැසිරිය යුතුයි කියන පණිවුඩය ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවට ලබා දෙන්නටයි අපි මෙය අදහස් කරන්නේ. මේ රටේ පොදු ජනතාවට සැබෑ අයිතියක් තියෙනවා තමන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ක්‍රියාත්මක කරන්න. තමන් විශ්වාස කරන දේශපාලන ගමනක නිදහස්ව රැස්වෙන්න, උද්ඝෝෂණ කරන්න, ප්‍රචණ්ඩත්වයෙන් තොරව ඒ නිදහස් නිවහල් අයිතිය ක්‍රියාත්මක කිරීමේ ඒ වරප්‍රසාදය මේ රටේ ලක්ෂ 220කට අධික වූ ජනතාව තුළ  තිබෙනවා.

ඒක කිසිම කෙනකුට උල්ලංඝනය කරන්න බැහැ. නමුත් අද වන විට බියකරු ඒ වගේම ඉතාමත්ම භීෂණකාරී රාජ්‍ය  ම්ලේච්ඡත්වයක් රාජ්‍ය ත්‍රස්තවාදය ක්‍රියාත්මක වන ආකාරයට මේ ආණ්ඩුව තමාගේ කටයුතු ක්‍රි‍යාත්මක කරනවා. එය අපට කිසිසේත්ම අනුමත කරන්න බෑ. ප්‍රජාතන්ත්‍රවාදය  අගය කරන විපක්ෂයේ එකමුතුවක් හැටියට අපි මේක  තරයේ හෙළා දකිනවා. කොන්දේසි විරහිතව ඒ පීඩනයට ලක් වෙන සිවිල් පුරවැසියන් වෙනුවෙන්, වෘත්තීය සමිති නායකයන් වෙනුවෙන්, ජන නායකයන් වෙනුවෙන් පොදුජන මතය හොබවන ඒ පොදු ජනතාව වෙනුවෙන් පොදු ජනතාවගේ ජීවත්වීමේ අයිතිය වෙනුවෙන් ඒ සටන් වදින ඒ සාමකාමී විරෝධතාකරුවන් වෙනුවෙන් අපි කොන්දේසි විරහිතව පෙනී සිටිනවා.

අද මුළු රටම හැම දෙනාම අවස්ථාවාදීත්වයෙන්  තොරව එකමුතු විය යුතු අවස්ථාවක්. මේ එකමුතුව අපි ක්‍රියාත්මක කරන්න ඕන රටේ ජනතාවට වරදාන වරප්‍රසාද ලබාදීමට. ඒ ආකාරයෙන් මිස අපට වරදාන වරප්‍රසාද ලබා ගැනීම තුළ නෙවෙයි. අපි තාවකාලික භාරකරුවන්, තාවකාලික ජනතා සේවකයන්. ජනතාව තමයි ඒ ජනතාව සේවය කිරීමේ බලපත්‍රය අලුත් කරනවාද, නිෂ්ප්‍රභ කරනවද ප්‍රතික්ෂේප කරනවාද, තීන්දුව ගන්නේ. ඒ නිසා අපට වටින්නේ ජනතා ස්වෛරි අයිතිය.  එම නිසා මේ මර්දනයෙන් බැහැර වෙන්න කියලා අපි මේ ආණ්ඩුව කියනවා. ජනමතයට බයවෙන්න එපා. ජන ඒකරාශිය කෙරෙහි බියගුලුව කටයුතු කරන්න එපා කියනවා. තමුන්නාන්සේලාත් එන්න ජනතාව අතරට. යන්න ජනතාව අතරට. ජනතාවගේ දුක සැප විසඳන්න. එතකොට ජනතාවට තේරෙයි ඒ අයගේත් මතය නියෝජනය කරන්නන් තමයි මේ ව්‍යස්ථාදායකය, විධායකයත් නියෝජනය කරමින් සිටින්නේ. එසේ නොමැතිව ජනතාවගෙන් බැහැර වෙලා තමන්ගේ ආරක්ෂාව සපුරන මහා ආරක්ෂක පවුරකින් හුදෙකලා වෙලා හිතන්නෙපා උණ්ඩයෙන්, බෝම්බයෙන්, බයිනෙට්ටුවෙන්,  කඩුවෙන් කිනිස්සෙන් මේ රටේ ජනතාව හසුරවන්න පුළුවන් කියලා. එහෙම  හිතනවානම් ඒ සිතුවිල්ල වහාම  ඉල්ලා අස්කරගන්න. 

පාර්ලිමේන්තු මන්ත්‍රි  අනුර  ප්‍රියදර්ශන යාපා එහිදී මෙසේ පැවැසීය.

අපේ රට ආර්ථික වශයෙන් ඉතාමත්ම බරපතළ සහ අභියෝගයට ලක් වුණ රටක තමයි අද අපි ජීවත් වෙන්නේ. මේ සඳහා විස¾දුම් සෙවීම සඳහා තමයි රට ඇතුළෙ මේ වනවිට අදහස පවතින්නේ. මෙවැනි අවස්ථාවක අපි හිතනවා පසුගිය කාලය පුරාවටම රට තුළ පැවැත්වූ උද්ඝෝෂණවල මූලික හර පද්ධතිය තියෙන්නෙ ආර්ථික අපහසුතාවලයි. ඒක අද වෙනදට වඩා සමාජයේ සෑම පුද්ගලයකුටම දැනෙනවා. එවැනි අවස්ථාවක රටක් වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී විය යුත්තේ. අද අපි කවුරුත් පිළිගන්නවා සමාජයේ ඕනෑම කෙනකුට තමන්ගේ අදහස් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්න නිදහස ඕන කියන එක කවුරුත් පිළිගන්නවා. ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තු කතාවේදීත් ඒ දේ ප්‍රකාශ වුණා. ප්‍රචණ්ඩත්වයට යන්නේ නැතිව ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් යටතේ තියෙනවා නම් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය හොඳ දෙයක්.

ඒ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය නීතියේ තියෙන සමහර වගන්තිවලින් උල්ලංඝනය වෙනවා නම් එය ඉතාම කනගාටුදායක තත්ත්වයක්. අද වෙනකොට සමහර තැන්වල යම් යම් වෙඩි තැබීම්වලින් මිය යෑම ගණනාවකුත් වාර්තා වෙලා තියෙනවා. ඒවා කවුද කරන්න කියන එක පරීක්ෂා කිරීමත් මං හිතනවා පොලිසියක ප්‍රධාන වගකීමක් හැටියට අපි සලකනවා. හොඳ ක්‍රියාවන්වලට අපි සහාය දෙන්න ලෑස්ති. හැබැයි ඒ වගේම ඒ තුළ ප්‍රජාතන්ත්‍රවාදී ගුණ ඉස්මතු වීම වැදගත් කියලා සියලු දෙනාම කල්පනා කරනවා. එය උල්ලංඝනය වන කාරණාවලදී අපි ඒ ගැන අපේ විරෝධතාවය ප්‍රකාශ කරනවා. මේ තියෙන ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට නම් අපි හැමෝම එකට එකතු වෙලා වැඩ කරන්න ඕනෑ. ඒ වගේම අපි ජනතාවගේ බලාපොරොත්තු සහ ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමත් එලෙසම කළ යුතුයි.

පාර්ලිමේන්තු මන්ත්‍රි චන්දිම වීරක්කොඩි

එහිදී  මෙසේ කීය

අද රටේ තියෙන ආර්ථික ප්‍රශ්නය මත ඇතිවෙච්ච සාමාජීය,  සමාජ ප්‍රශ්නය  විශාල අභියෝගයක් වෙලා  තමයි අරගලයේ මූලාරම්භය එක්ක රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපති වීමට අවස්ථාව ලැබුණේ.  ඒ අවස්ථාව උපයෝගි කරගෙන ඔහු ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළ පාර්ලිමේන්තුවේ රාජාසන කතාවේ ඉතාම පැහැදිලි ලෙස හැම දෙනාගෙම සිත් ඇදගන්නා විදිහට ප්‍රකාශ කළා. අපි ඇතුළු  සමස්ත ලාංකේය ජනතාව බලාපොරොත්තු වෙන්නේ ඒ වැඩපිළිවෙළ ඒ ආකාරයෙන් ක්‍රියාත්මක වෙයි කියලා. ජනාධිපතිවරයාට අභියෝග යක්තියෙනවා රටේ ජනතාවට ඔප්පු කරන්න. ඒ  වැඩපිළිවෙළ පිළිබඳව සෑහීමකට පත්වෙන්න.

අන්තර්ජාතික ප්‍රජාව ඒ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන බවට සෑහීමකට පත්වෙන්න. මේ ආකාරයේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන වෘත්තිය සමිති ව්‍යාපාරවල නිරත උදවිය අනවශ්‍ය   විධියට අත්අඩංගුවට ගැනීම තුළින් රටට විය හැකි හානිය පිළිබඳව එතුමා අගමැතිවරයා ලෙස ඉන්නකොට කතා කළා. අද මේ මොහොත වන විටත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානයේ නියෝජිතවරිය ජෝෂප්් ස්ටාලින් මහතා  අත්අඩංගුවට ගැනීම පිළිබඳව විශේෂ නිවේදනයක් කරලා තියෙනවා.

මේ තත්ත්වයට නැවත ගමන් කිරීමට උත්සාහ දරන කොට රජය නිසි මාර්ගය ගමන් නොකරන බවට ඉඟි පහළ වෙනවා. ඒ නිසා කරුණා කරලා ජනතාවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබා දීපු තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය බලහත්කාරයෙන් උදුරා ගැනීම නවත්වන්න. මෙම මාධ්‍ය  හමුවට පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන එම්. ඒ. සුමන්තිරන්, රවුෆ් හකීම්, රාධා ක්‍රිෂ්ණන්, රන්ජිත් මද්දුමබණ්ඩාර, ‍ෙදාස්තර  රාජිත සේනාරත්න ඇතුළු  සමගි ජන සන්ධානයේ මන්ත්‍රිවරුන් පිරිසක් එක්ව සිටියහ.

නිර්මාණි ගුණරත්න