ආචාරධර්ම කැඩූ නීතිඥයන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්න

0
20

නීතිඥ වෘත්තියේ ආචාරධර්ම කඩවන අයුරින් පසුගිය දිනවල හැසිරුණු නීතිඥවරුන්ට විරුද්ධව විනය පරීක්ෂණ සිදුකරන මෙන් නීතිඥවරුන් කණ්ඩායමක් ශ්‍රී  ලංකා නීතිඥ සංගමයෙන් ලිඛිතව ඉල්ලා තිබේ.

හිටපු ජනාධිපතිවරයාගේ මිරිහාන නිවෙස ඉදිරිපිට පැවැති කලහකාරි සිද්ධිවලදී අත්අඩංගුවට ගත් පුද්ගලයන්ගේ සිට කලහකාරිව හැසිරුණු අරගලකරුවන් දක්වා පෙනී සිටි ඇතැම් නීතිඥයන් සිය වෘත්තීය ආචාර ධර්ම කඩකර ඇතැයි එම නීතිඥවරුන් කණ්ඩායම පෙන්වාදී ඇත.

චූදිතයන් අධිකරණයට කැඳවන අවස්ථාවලදී සහ ඉන් පිටතට යන අවස්ථාවලදී අත්පුඩි ගසමින් ශබ්ද නඟමින් හැසිරුණු නීතිඥවරුන් ආචාර ධර්ම කඩකර තිබෙන බවත් මෙවන් කටයුතු ඉදිරියටත් සිදුවුවහොත් නීතිඥ වෘත්තියේ ගරුත්වයට හානි විය හැකි බවත් එම නීතිඥ කණ්ඩායම පෙන්වාදී තිබේ.

පසුගිය දිනවල රටේ ඇති වූ කලබලවලට නීතිඥ සංගමයේ හැසිරීමද හේතුවක් වූ බව නීතිඥ සංගමයේ ලේකම්වරයා හමුවීමෙන් පසුව අදහස් දැක්වූ නීතිඥ අතුල ද සිල්වා පැවැසීය.  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා වන අයුරින් හා නීතිඥ වෘත්තියේ ආචාර ධර්ම ආරක්ෂා වන ආකාරයෙන්  කටයුතු කරන්නැයි නීතිඥ සංගමයේ ලේකම්වරයාගෙන් ඉල්ලා සිටි බවද හෙතෙම සඳහන් කළේය.

අමිත් මධුරංග ගමගේ