අරගලයේ උරහිස් මතින් බලයට ආ ආණ්ඩුව ඔවුන් මර්දනය කිරීම නැවැත්විය යුතුයි

0
13

අරගලකරුවන් අත්අඩංගුවට ගැනීම හා රාජ්‍ය මර්දනය වහා නතර කළ යුතු යැයි දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.ඒ. සුමන්තිරන් මහතා අවධාරණය කරයි.

එම මර්දනයන් නතර නොකරන්නේ නම් ඊට එරෙහිව ජනතාව සමඟ දැවැන්ත විරෝධතාවක් සිදු කරන බවද මන්ත්‍රිවරයා කීය.

සුමන්තිරන් මහතා මේ බව පැවැසුවේ ඊයේ (04දා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

ලංකා ගුරු සංගමයේ ලේකම් ජොශප් ස්ටාලින් මහතා අත්අඩංගුවට ගැනීම තරයේ හෙළා දකින බව පැවැසූ මන්ත්‍රිවරයා අරගල කිරීමට ජනතාවට ඇති අයිතිය කිසිවකුටත් නතර කළ නොහැකි යැයිද කීවේය.

ජන අරගලයේ උරහිස් මතින් බලයට පත් වත්මන් ආණ්ඩුව එම අරගලයේ නායකයන්ව දඩයම් කිරීම කිසිසේත් අනුමත කළ නොහැකි ක්‍රියාවක් බවත් ගාලුමුව‍ෙදාර පිටිය අරගලයේ ආරම්භ කාලයේ එය ඉතා සාමකාමී යැයි ජනාධිතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය  කතාවේදී ප්‍රකාශ කළ අතර එසේ නම් එම අරගලයේ ආරම්භක නායකයන්ද අත්අඩංගුවට ගැනීම සාධාරණ වන්නේ කෙසේදැයි මන්ත්‍රිවරයා ප්‍රශ්න කළේය.

ක්‍රියාකාරී වෘත්තීය සමිති නායකයකු වන ලංකා ගුරු සංගමයේ ලේකම් ජොසප් ස්ටාලින් මහතා අත්අඩංගුවට ගැනීම තරයේ හෙළා දකින බව කී මන්ත්‍රිවරයා අරගලකරුවන් අත්අඩංගුවට ගැනීම වහාම නතර කළ යුතු බවද අත්අඩංගුවට ගෙන ඇති අරගලකරුවන් වහාම නිදහස් කළ යුතු බවද කීවේය.

ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් කීවේ රටේ පවතින ආර්ථික අර්බුදය විසඳීම වෙනුවෙන් තවමත් නිශ්චිත වැඩපිළිවෙළක්වත් ඉදිරිපත් කර ගැනීමට අපොහොසත් වූ ආණ්ඩුව අරගලකරුවන් අත්අඩංගුවට ගනිමින්  ජනතාවගේ මනස වෙනතකට යොමු කරමින් සිටින බවත්ය.

ඩී.එල්. ජයකොඩි