අරගලයේ උණුසුම යන්නත් පෙර බලලෝභී දේශපාලනය හිස ඔසවලා

0
45

අරගලයේ උණුසුම යන්නටත් පෙර බලලෝභී දේශපාලනය නැවත ක්‍රියාත්මක වෙමින්  පවතින බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනි ආචාර්ය හරිනි අමරසූරිය චෝදනා කළාය. එය  දේශපාලනයේදී තමා දුටු ඉතා හිරිකිත සහ නිර්ලජ්ජිත ක්‍රිියාවක් බවත් මන්ත්‍රිවරිය පැවැසුවාය.

ඇය ‘මව්බිම’ට පැවැසුවේ අරගලයේ මූලිකම යෝජනාවක් වී තිබුණේ බලලෝභී,  අවස්ථාවාදී දේශපාලනය වෙනුවට ප්‍රතිපත්තිමය  වලංගුභාවයක් සහිත දේශපාලනයක් රට තුළ ස්ථාපිත විය යුතු බව වුවත් මේ වන විට තම බලය වෙනුවෙන් ඉතා කෑදරකමින් විපක්ෂයේත් බොහෝ මන්ත්‍රිවරුන් ක්‍රියා කරමින් සිටින බවය.

“පසුගිය කාලය පුරාම අරගලය තුළින් ආ එක සටන් පාඨයක් තමයි අවස්ථාවාදී දේශපාලනයට විරුද්ධ වීම. අවස්ථාවාදී දේශපාලනය වෙනුවට ප්‍රතිපත්තිමය දේශපාලනයක් අරගලය විසින් බලාපොරොත්තු වුණා. නමුත් බලයට කෑදරකමින් මේ වන විට බහුතරයක් මන්ත්‍රිවරුන් ඔවුන්ගේ බලකාමීත්වය සිය හැසිරීම්වලින් පෙන්නුම් කරනවා. ප්‍රජාතන්ත්‍රවාදයේ මූලිකම පදනම වන ඡන්දෙකින් පත් නොවූ ජනාධිපති කෙනෙක් කියන්නේ යම්කිසි බලයකට සීමාවක් දාගන්න ඕනි. තාවකාලිකව බලය පාවිච්චි කරන්න   ඕන. නමුත් මේ ආණ්ඩුව හැසිරෙන්නේ දීර්ඝ කාලයක් බලයේ රැඳී සිටින්නයි. ඒ වගේම නීතියේ ආධිපත්‍ය, ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කළාට දැන් ඒක සත පහකට ගණන් ගන්නේ නැහැ.

මූලික පදනමම මේගොල්ලෝ කඩලා. 225 බහුතරයක් අද අවස්ථාවාදී දේශපාලනයේ නිරතවෙලා. අරගලයෙන් මිනිස්සු ඉල්ලන දේ තවම කරල නැහැ” යනුවෙන්ද  අමරසූරිය මෙනෙවිය වැඩිදුරටත් පැවැසුවාය.

අනුරාධා හේරත්