අරගලකරුවන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමට මැදිහත් වන්න

0
9

අරගලකරුවන් අත්අඩංගුවට ගැනීම් වැළැක්වීමට මැදිහත් වන්නැයි යුරෝපයේ වෙසෙන ශ්‍රී  ලාංකිකයන් පිරිසක් ජිනීවාහි පිහිටි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ලිඛිතව ඉල්ලීමක් කර තිබේ.

ජිනීවා මධ්‍යස්ථානයේ අභ්‍යන්තර කාර්යාලයට පැමිණි ශ්‍රී  ලාංකිකයන් පිරිස මෙම අත්අඩංගුවට ගැනීම්වලට විරෝධය පළකරන බව ලියුමක් භාරදෙමින් පවසා ඇත. 

ගාලුමුව‍ෙදාර අරගලයට නායකත්වය ලබාදුන් වෘත්තීය සමිති හා සිවිල් සංවිධාන නායකයන්, ශිෂ්‍ය ක්‍රියාකාරීන්, දේශපාලන පක්ෂ නියෝජිතයන් හා ඊට සම්බන්ධ වූ සෙසු කණ්ඩායම් අත්අඩංගුවට ගැනීම් ශ්‍රී  ලංකාව පුරා සිදුවෙමින් පවතින බවද එම ලියුමෙහි සඳහන් කර ඇත.

භාෂණයේ හා අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට බාධා එල්ල කරමින් අනීතික අයුරින් මර්දනයක් සිදුවෙමින් පවතින බවද ඔවුහු පවසති.

මානව හිමිකම් කවුන්සිලයේ ඊළඟ රැස්වීම් වාරයේදී මෙම ගැටලුව සම්බන්ධව අදහස් දැක්වීමට ශ්‍රී  ලාංකිකයන්ට අවස්ථාව ලබාදෙන බව ජිනීවා කාර්යාලයේ නිලධාරීන් එහිදී දැනුම් දී තිබේ. ශ්‍රී  ලාංකිකයන් පනස් දහසකගේ අස්සන් ලබාගෙන අරගලකරුවන් සකස් කරගෙන යන පෙත්සමක් ඊළඟ රැස්වීම් වාරයට ඉදිරිපත් කිරීමටද එම නිලධාරීන් අවසර ලබාදී ඇත.

අමිත් මධුරංග ගමගේ