අරගලකරුවන්ට පොදු සමාවක් ගැන කතා කරන්න ඕමල්පේ හිමි ජනපති හමුවට

0
36

අරගලකරුවන් අත්අඩංගුවට ගැනීම නතර කර පොදු සමාකාලයක් ප්‍රකාශයට පත්කරන ලෙස ඉල්ලීම සඳහා ජනාධිපතිවරයා හමුවීමට අවස්ථාව සලසා දෙන බවට අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පොරොන්දු වී යැයි මහජන සභාවේ සම සභාපති ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ ‘මව්බිම’ට ඊයේ (04දා) පැවැසූහ.

මහජන සභාවේ නියෝජිත පිරිසක් අධිකරණ අමාත්‍යාංශයේදී අමාත්‍යවරයා හමුවූ අවස්ථාවේ ජනාධිපතිවරයා හමුවීමට අවස්ථාවක් ලබාදෙන බවත් වහාම ජනාධිපතිවරයා හමුවී ඒ සඳහා වේලාව වෙන්කර ගන්නා බවත් අමාත්‍යවරයා කීවේ යැයිද සෝභිත හිමියෝ ප්‍රකාශ කළහ.

ජනාධිපතිවරයා හමුවීමට ජාතික සභාවේ නියෝජිතයන් සමඟ නීතිඥ සංගමයේ නියෝජිතයන්ද කැටුව යෑමට බලාපොරොත්තු වන බවද උන්වහන්සේ කීහ.

දිගින් දිගටම අරගලකරුවන් අත්අඩංගුවට ගැනීමෙන් ජනාධිපතිවරයාගේ කීර්ති නාමයට හානි වන බව ඊයේ (04දා) පැවැති සාකච්ඡාවේදී පෙන්වා දුන් බවද සෝභිත හිමියෝ පැවැසූහ.

රට වෙනුවෙන් කතා කළ පිරිස් අත්අඩංගුවට පත්වෙමින් සිටින බව පෙන්වා දුන් බවත්, එම කතා බහ ජනාධිපතිවරයා සමඟ කරන්නට අවස්ථාව ලබාදෙන බව ඇමැතිවරයා පොරොන්දු වූ බවද උන්වහන්සේ ප්‍රකාශ කළහ. ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් සමඟ විටියල කවිධජ හිමියන් ඇතුළු පිරිසක් අමාත්‍යවරයා සමඟ සාකච්ඡාවට සහභාගි වී තිබේ.

විනීතා එම්. ගමගේ