අප මේ ගෙවන්නේ කවුරුත් කළ පාපයක්ද?

0
11

ඩොනල්ඩ් ඒ. වෙල් තම “war myth” නම් පොතේ වර්තමානයට ගැළපෙන අතිශයින් ප්‍රයෝජනවත් අදහසක් දක්වයි. ඔහු දක්වන අයුරින් මිනිසා අනෙක් මිනිසුන් කෙරේ මනුෂ්‍යමය භක්තියකින් හා සාමයෙන් ජීවත් විය යුත්තේ, ඔහුද මනුෂ්‍යයකු ලෙස උපත ලබා ඇති බැවිනි. යම් මනුෂ්‍යයකු තම ශරීරයේ අවයව නිරෝගීව තබාගන්නේ නම්, කනස්සල්ලෙන් තොරව ජීවත් වී ඇත්නම් රසවත් ආහාර භුක්ති වි¼ද ඇත්නම් කිසිම දිනක තවත් මිනිහකුගේ සිරුරට හානි කිරීමට ඔහුගේ සැනසීම නැති කිරීමට අයිතියක් නැත.

මේ මානුනවීය හැඟීම සිතේ ඇති නොවන යම් මිනිසකු හෝ කොහේ හෝ සිටිද, ඔහු සත්ත්වෝද්‍යානයක කූඩුවක හිර කිරීම යෝග්‍යය. එවන් මිනිසකුට යම්කිසි පුළුවන්කාරකමක් ලැබුණොත් ඔහු, තමා සහ තමා අගය කරන්නන් හැර අන්‍යයන්ට හිංසා කිරීම අරඹයි. යුද්ධය නමැති අප්‍රසන්න සිදුවීම ඇරඹෙන්නේ මෙවැනි අවාසනාවන්තත මිනිසකු නිසා බව මෝටිමර් ඇඩ්ලර් (Motimer Adler) නම් නීතිය පිළිබඳව මහාචාර්යවරයා කියයි.

මේ අදහස ඔස්සේ කල්පනා කරන විට, අප හට විඳින්නට සිදුව ඇති මේ බොහෝ පීඩාවන්ට හේතුව නිසා හටගත් ඒවා යැයි සිතෙයි. සංස්කෘතිය, හිටි අඩියේ ක්‍ෂණික හැල හැප්පීම්වලට සහ විපර්යාසවලට ලක්වන බව, සංස්කෘතිය උගන්වන ආචාර්යවරයකු ලෙස මම දනිමි. උල්රිඩ් බෙක් 1992 දී ලියූ “Risk Society to words New modernity” නම් පොතෙහි කියන්නේ නූතන සමාජය වෙත විශාල අවදානම් තත්ත්ව එල්ල වී ඇති බවය.

එහි කියන ලෙස භෞතික පහසුකම් නැති වන විට මිනිසුන්ගේ මානසික ලෝකවල පැවැති සාමය, දරාගැනීම, කැපවීම, ඉවසීම අනෙකා ආරක්ෂා කිරීම යන කරුණුද විනාශ වන බවය. මේ අවදානම් තත්ත්ව ඉදිරියේ හීනෝන්මාදී රෝග තත්ත්ව ඇති මිනිසුන්ද, බිහිවීමේ ඉඩ පවතී. හීනෝන්මාදයේ (Schizophrenia) ලක්ෂණය නම්, එක් විටම විකාර හා බියකරු දර්ශන මැවී පෙනීමයි. මෑතකදී අපට අත්දකින්නට ලැබුණු කොරෝනා වසංගත යුගයේදී මා මිත්‍ර මනෝ විද්වතකු වූ චාමින්ද වීරසිරිවර්ධන මහතා සඳහන් කළ එක් සිදුවීමක් මෙසේය.

වැඩි උගත් කමක් නැති තරුණ යුවළක් පෙම් සුව විඳීම සඳහා හුදෙකලා තැනකට ගියහ. එහිදී තරුණ පෙම්වතා තුළ ඇති වූ විකාර සිතුවිල්ලකි. එනම් මේ වසංගතය විසින් සියලු දේ විනාශ වන බවය. ඒ අනුව තමාද පෙම්වතියද මැරෙනු ඇතැයි ඔහු සිතුවේය. මේ නිසා ඔහුට ඒ වෙලාවේ පෙම්වතිය දූෂණය කිරීමේ සිතුවිල්ලක් පැනනැඟුණු බැවින් එය ක්‍රියාවේ යෙදුවේය. තරුණියට තම පෙම්වතාගේ අමුත්ත වැටහී කෑගැසීම නිසා පෙම්වතාගෙන් ගැලවිය හැකිවිණි. මිනිසුන්ගේ චර්යා, අතීත පුරාවෘත්ත මෙන්ම ජීව විද්‍යාව, සමාජ විද්‍යාව හා මනෝ විද්‍යාවට සාපේක්ෂව අධ්‍යයනය කරන, චර්යාව මානව විද්‍යාව (Behaviaural Anthro pology) අනුව මේ යුගයේ මිනිසුන් මායාමය තත්ත්ව (Fantasy) තුළ ජීවත්වීමට හුරුව සිටිති. ඉන්ධන පෝලිම්වල දින ගණන් කල් මරණ මිනිසකුට හිටි අඩියේ “සිසෝප්‍රේනියාව වැලඳීමට ඉඩකඩ ඇත.

ඔහුගේ ළඟම සිටින සහෝදර මිනිසා සමඟ කතා කරමින් සිට එක්වරම ඔහුට අතට හසුවුණු දේකින් පහර දෙන්නේත් ක්‍ෂණික මිනීමැරුම් ඇති වන්නේත් මේ අනුවය. ආර්.ඒ. බැරොන් (R.A. Baron) නම් මනෝ විද්වතා සිය “Human Aggressian” නම් පොතේ අපූරු අදහසක් දක්වයි. එනම්, ඇතැම් මිනිසුන් ඉතා සියුම්ව සිතන මිනිසුන් කෙරේ වෛර කරන බවය. පන්සිය පනස් ජාතක පොතේ එන “ක්ෂාන්තිවාදී” ජාතක පුවතේ කැලැඹූ රජු, ශාන්තිවාදී තවුසා ගැන සිතුවේද එලෙසිනි. තම බිසෝවරුනට “බණ” දෙසනු දුටු රජු තුළ බලවත් වෛරයක් ඇවිස්සුණේ තවුසාගේ සියුම් සිතුවිලිවලට තම රාජ්‍ය තන්ත්‍රයේ බොහෝ රහස් ගුප්ත තොරතුරුද අනාවරණය වේය යන කුකුසත්, ලිංගික ඊර්ෂ්‍යාවත් නිසාය.

රටේ අනාගතයත්, එයට පෝෂණය සපයන අධ්‍යාපනය, උසස් ආදී ක්ෂේත්‍රත් මේ වන විට අනාථ වී පවතී. රටේ අත්‍යවශ්‍ය ආයතන ලෙස යම්කිසි කොටසක් හුවා දැක්වීම නිසා අධ්‍යාපනයත්, එම විෂය කලාපවල සම්පත් දායකයන් වන ගුරුවරුන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉන්ධන පෝලිම්වල දවස් ගණන් ලැග සිටින කාලකණ්ණි ඉරණමකට පත්ව සිටිති. ඒ මතුද නොවේ, මේ යුගයේ සරසවි ඇදුරන් වූ අප හට සරසවියේ සිසු සිසුවියන්ගේ ජීවිත පත්ව ඇති අසරණ තත්ත්වය පෙනෙමින් තිබේ. පේරාදෙණිය සරසවියේ මගේ නිල නිවස ඇත්තේ විශාල නේවාසිකාගාරයක් ඉදිරිපිටය.

මේ මෑතක සිසුන් නැවත නිවෙස් වෙත පිටත් කිරීමට පෙර, අප යටතේ ඇතැම් සිසුහු තම උපාධි නිබන්ධන ලියමින් සිටියහ. ඇතැම් සිසුවියන් වෙළෙඳහලකින් මිලට ගන්නා බිස්කට් පැකට් එකකින් බිස්කට් කිහිපයක් අනුභව කොට වතුර පානය කර දවස ගෙවන බව දැන ගතිමි. පේරාදෙණිය සරසවියේ සිට සැතපුම් කිහිපයක් ආසන්නව ඇති මහකන්ද නේවාසිකාගාරයේ සිට, සිසුවියන් සැතපුම් 5ක් පමණ පයින් එන්නේ බස් ගාස්තු වැඩි බැවිනි.

දිවා ආහාරය වෙනදා මිල මෙන් තුන් ගුණයක් පමණ වන නිසා ඒ සිසුන් මහ මඟ ඇති වෙළෙඳසල්වලින් බිස්කට් හෝ බනිස් මිලට ගෙන ඒවා කා ජලය පානය කර මුළු දවසම, දේශනවලට සහභාගි වෙති. මෙම කරුණු සමස්ත සමාජයේ ඇති වී තිබෙන දුර්දාන්ත හා ඛේදනීය තත්ත්වය සමඟ සසඳන විට ඇතැම් අයට (දේශපාලනඥයන්) සරල ඒවා වීමට පුළුවන. ඒත් මෙසේ හාමත් වන්නේ අධෛර්යය වන්නේ, කුසගින්නේ පසුවන්නේ අනාගතය බුද්ධියෙන් පෝෂණය කිරීමට උර දෙන පරපුරකි.

සරසවි ඇදුරන් තම ඇවැතුම් පැවැතුම් හා ජීවිතය පවත්වා ගත යුතු පිළිවෙළක් ඇත. ඔවුන්, හාල්මිටි එළවළු මලු, ආදිය කර තියාගෙන පයින් හෝ බස් රථවල චප්ප වෙමින් ගමන් කිරීම බලවත් කාළකණ්ණිකමකි. මේ අප ගෙවන්නේ අප කළ පාපයක්ද? නැත. මා පෙරදී දැක්වූවාක් සේ මානවවාදීව නොසිතන තැන්වල මිනිසුන්, ඉහළ සිටින බැවිනි. එස්.එල්. දෝසගේ “Morderni post Modernity and New Sociological Theory” නම් ග්‍රන්ථයේ කියවෙන පරිදි,

අද යුගයේ ජනයා තවදුරටත් ඔවුන් මත ආරෝපණය කරන මතවාද පිළිගන්නා තත්ත්වයක්ද නැත. අතිශයින් පීඩනයට පත් ප්‍රජාවකට ආචාර ධර්ම පුහුණු කිරීම ඵල රහිත ක්‍රියාවකි. ජනයා වෙත පීඩනය දියත් වන්නේ දෙයකින්ද ඒ ජනයා ඒ දෙයට එරෙහි වෙති. මේ ගත වන්නේ ධනවාදය, සංස්කෘතීකරණයට ලක් වූ යුගයකැයි කියවේ. එනම්, සමාජයේ කිසියම් බලයක් හිමි, පිරිස, තම බලයට සංස්කෘතික හා ආචාරවාදී මුහුණුවරක් දෙති. එහෙත් ඒ අර්ථ දැක්වීම හා ජනයා පෙළීමේ ක්‍රියාවලියට එරෙහිව බලවේග සහිත නව සංස්කෘතික ක්‍රියාවලියක් ඇති වීම වැළැක්විය නොහැකි වේ. මෙය, නව ධනවාදයට එරෙහි ප්‍රතිසංස්කෘතිය

(Anti cultare) නම් වෙයි. නව ධනවාදය, යනු, මායාකාරිවූ බල ආකෘතියේ පවත්වා ගැනීමය. ඒ මායා අධිකාරි බලයට එරෙහිව ප්‍රජාවේ ප්‍රතිසංස්කෘතිය  පෙළ ගැහෙයි. ජලය විශාල ලෙස එක්රැස් වුවහොත් සවිමත් වේලි වුවද දෙදරා යනු ඇත.

පේරාදෙණිය විශ්වවිද්‍යාලය සිංහල  අංශයේ ජේ‍යෂ්ඨ මහාචාර්ය –  සාලිය කුලරත්න