අතපය ගැට ගසා පහරදී මරා සිරුර වගුරුබිමක දමලා

0
8

අත් පා ගැටගසා පහරදී මරා දමා තිබූ පුද්ගල මළසිරුරක් වගුරුබිමක තිබී සොයා ගත් බව පොලිසිය පවසයි. ඉකුත් 02දා මෙම පුද්ගල මළසිරුර සොයාගෙන තිබුණේ කඳාන පොලිස් වසමේ ඉදිවිටිය ප්‍රදේශයේ වගුරු බිමක තිබියදීය. ඝාතනයට ලක් වූ පුද්ගලයා උෟරකු මිලදී ගැනීම සඳහා යන බව පවසමින් නිවෙසින් පිටව ගොස් ඇත. නැවත ඔහු නිවෙසට නොපැමිණිම හා ඔහුගේ දුරකථනය ක්‍රියාවිරහිතව තිබීම නිසා මිය ගිය අයගේ දියණියක කඳාන පොලිසියට කළ පැමිණිල්ලක් අනුව විමර්ශන ආරම්භ කෙරිණි.

පොලිසිය මුතුරාජවෙල මඩ වගුරක කළ පරීක්ෂාවේදී අත් පා ගැට ගසා තිබූ මළසිරුර සොයාගෙන තිබිණි. මියගොස් ඇත්තේ අංක 23/3 පල්ලිය පාර කඳාන ලිපිනයේ පදිංචි කැරව්ගොඩගේ නසරේනී (62) නමැති අයකු බව පොලිසිය පවසයි. සිද්ධිය වූ ස්ථානයට පැමිණි පොලිස් අපරාධ පරීක්ෂණාගාර නිලධාරීහු මූලික විමර්ශන කටයුතු කළහ.

සිද්ධිය සම්බන්ධයෙන් ජා-ඇළ බෝධිරාජාරාම මාවතේ පුද්ගලයන් දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. මියගිය අයගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු කිරීම සඳහා මළසිරුර රාගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කටයුතු කඳාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුභාෂ් කහදවල මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් කණ්ඩායමක් කරනු ලබයි.

ජා-ඇළ _ ප්‍රසංග පාවුළුහේවා