සෞඛ්‍ය උපදෙස් නොපිළිපැද්‍ෙදාත් කොවිඩ් මරණ වැඩිවිය හැකියි

0
11

කොවිඩ් රෝගය පිළිබඳව සෞඛ්‍ය අංශ ලබා දෙන උපදෙස් හා මාර්ගෝපදේශයන් නොපිළිගතහොත් රෝගීන්ගේ ප්‍රමාණය වැඩිවීම හා සමානව මරණ සංඛ්‍යාවද ඉහළ යනු ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන අනතුරු අඟවයි.

කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව දෛනිකව වැඩිවෙමින් පවතින බැවින් රෝගය වළක්වා ගැනීම සඳහා මහජනතාවගේ සහාය අත්‍යවශ්‍ය වන බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවැසීය.

මුව ආවරණ අනිවාර්යයෙන් පැලඳීමත්, ප්‍රතිශක්තිකරණ එන්නත් අවශ්‍ය පරිදි ලබාගැනීමත්, මහජනතාවගෙන් අපේක්ෂා කරන බවද ගුණවර්ධන මහතා සඳහන් කළේය.

දැනට තුන්වැනි හා  හතරවැනි එන්නත් මාත්‍රාවන් ලබාගෙන නොමැති පුද්ගලයන් ආසන්නතම රෝහලට හෝ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට ගොස් එන්නත් මාත්‍රාවන් ලබාගත යුතු බවද හෙතෙම ප්‍රකාශ කළේය.

ජනතාව කොවිඩ් රෝගයෙන් බැරෑරුම් තත්ත්වයට පත්වීමත්, මරණයට පත්වීමත්, හැකිතාක් දුරට වැළැක්වීමට එන්නත්කරණයෙන් බලාපොරොත්තු වන බවද ඔහු කීය.

එන්නත්කරණය සිදුකළද කොවිඩ් රෝගය වැලඳිය හැකි බවත් සංකූලතා සහ මරණයට පත්වීමේ සම්භාවිතාව අඩුවීමට එන්නත් ලබාගැනීම වැදගත් බවත් අසේල ගුණවර්ධන මහතා පැවැසීය.

අවුරුදු 60ට වැඩි පුද්ගලයන්, නිදන්ගත රෝගවලින් පෙළෙන, පිළිකා රෝගවලට ප්‍රතිකාර ගන්නා අය, අවයව බද්ධ කර ඇති හා වකුගඩු රෝගවලින් පෙළෙන පුද්ගලයන් ප්‍රතිශක්තිකරණ එන්නත අනිවාර්යයෙන් ලබාගත යුතු බවද හෙතෙම සඳහන් කළේය.

අමිත් මධුරංග ගමගේ