සිපෙට්කෝ බවුසරයක් මීගොඩ තෙල් ජාවාරමක

0
23

කටුනායක ප්‍රදේශයේ බෙදාහැරීමට නිකුත් කර තිබූ ඩීසල් බවුසරයක් ඉතා අධික මිලකට මීගොඩ පොලිස් වසමේ පුද්ගලයන් වෙත බෙදා හරිමින් සිටියදී උපාය දූතයකු යොදා කරන ලද වැටලීමකින් පසු අත්අඩංගුවට ගැනීමට මීගොඩ පොලිසියට හැකි වී ඇත.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී එම බවුසරය තුළ ඩීසල් ලීටර් 6,600ක් තිබී ඇතැයි මීගොඩ පොලිසිය කීය.

මේ සම්බන්ධයෙන් මීගොඩ පොලිසිය සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඊයේ (3දා) පුළුල් පරීක්ෂණයක් අරඹා ඇත.

සිපෙට්කෝ තෙල් බවුසරයක් මීගොඩ පොලිස් වසමේ තැන් තැන්වලට ඩීසල් වැඩි මිලට විකුණන බවට මීගොඩ පොලිස් ස්ථානාධිපති නෙවිල් ප්‍රියන්ත මහතාට තොරතුරක් ලැබී ඇත. ඒ පිළිබඳ සොයා බැලූ ස්ථානාධිපතිවරයාට දැනගන්නට ලැබී ඇත්තේ ලීටරය රුපියල් දහසකට ආසන්න මුදලකට ඔවුන් එම ඉන්ධන විකුණන බවය.

පසුව උපාය දූතයකු යෙදවූ පොලිස් ස්ථානාධිපතිවරයා ඩීසල් අලෙවි කරන තැරැව්කරුවකු සමඟ සම්බන්ධ වී ඇඟලුම් කර්මාන්ත ශාලාවකට අවශ්‍ය බව කියමින් ඉන්ධන ලීටර් 100ක් තැරැව්කරුවන්ගෙන් ඉල්ලා ඇත. එක් ලීටරයක් රුපියල් 830 බැගින් ලබාදී ඇති මොවුන් ඇඟලුම් කම්හලකට නම් ලීටරයක් රුපියල් 900 බැගින් අලෙවි කිරීමට සිදුවන බව පවසා ඇතැයි කියති.

කෙසේ වෙතත් රුපියල් 900 බැගින් ඩීසල් ලීටරයක් මිලදී ගැනීමට උපාය දූතයා කැමැත්ත පළ කර ඇති අතර පසුව තෙල් බාන ස්ථානය පරීක්ෂා කිරීමට අවශ්‍ය බව කියමින් තැරැව්කරුවන් සහ රියැදුරා මීගොඩ ප්‍රදේශයේ ස්ථානයකට පැමිණ ඇත.

පසුව නිලධාරීන් විසින් සූක්ෂ්ම ලෙස සිදුකරන ලද වැටලීමකින් පසු රුපියල් 900 බැගින් නිකුත් කිරීමට සැරසුණු ඩීසල් සමඟ තෙල් බවුසරයද මීගොඩ පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායම විසින් කොටු කර ගෙන තිබේ.

පසුව මේ සම්බන්ධයෙන් ලංකා ඛනිජ තෙල් සංස්ථාවද දැනුවත් කර ඇති අතර එම සංස්ථාවේ නිලධාරීන් කණ්ඩායමක්ද මීගොඩ පොලිසියට පැමිණ විමර්ශන ආරම්භ කර ඇත.

තැරැව්කරුවන් දෙදෙනකු සමඟ තෙල් බවුසරයේ රියැදුරා සහ සහායකයාන් බවුසරයත් මීගොඩ පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.

මීගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නෙවිල් ප්‍රියන්ත ඇතුළු කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරති.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මෙම ජාවාරම කොපමණ කාලයක් තිස්සේ කරගෙන ගොස් ඇත්ද යන්නත් ඊට ඛනිජ තෙල් නීතිගත සංස්ථා නිලධාරීන් සම්බන්ධතාවක් ඇත්ද යන්නත් සෙවීම සඳහා පුළුල් පරීක්ෂණයක් ආරම්භ කොට ඇත.

මෙම බවුසරයේ තිබෙන ඉන්ධන තොගය කටුනායක ප්‍රදේශයේ පෞද්ගලික සමාගමක් නමින් මිලදී ගෙන ඇති අතර එම බවුසර් රථය ගමන් කළ යුතු මාර්ගය වෙනස් කරමින් අනවසරයෙන් මීගොඩ ප්‍රදේශයට පැමිණ ඇති බවද අනාවරණය වී ඇත.

මේ පිළිබඳ සිදුකරන ලද විමර්ශනයේදී ඉන්වොයිසිය යොදන ආයතනයෙන් බැහැරව වෙනත් ආයතනයකට මෙම ඉන්ධන ලබාදීමේ ජාවාරම තවත් ආයතනවල නිලධාරීන්ගේ සම්බන්ධතාවක් ඇතිව සිදුකර ඇත්ද සෙවීමටත් සත්‍ය ලෙස එවන් ආයතනයක් තිබේද යන්න  පිළිබඳවද විමර්ශන නිලධාරීන්ගේ අවධානය යොමු වී ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් තැරැව්කරුවන් සමාගම් දෙකක අලෙවි නියෝජිතයන් බවත් බවුසරය ලංකාවේ ප්‍රසිද්ධ සමාගමකට ආයත් එකක් බවත් ලංකා ඛනිජ තෙල් සංස්ථවෙන් කුලී පදනම මත ලබාගත් එකක් බවද කියයි. දිගින් දිගටම මෙසේ ඉන්ධන බවුසර් පන්නා ඇතැයිද යන්න සෙවීමද පරීක්ෂණවල අරමුණ වේ.

කීර්ති මෙන්ඩිස්