සර්වපාක්ෂික ආණ්ඩුවට අපි නෑ

0
32

රනිල් – රාජපක්ෂ කඳවුර පිහිටුවූ ආණ්ඩුවක් සර්වපාක්ෂික ආණ්ඩුවක් වන්නේ නැති බව ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක පැවසීය. සර්වපාක්ෂික ආණ්ඩුවක මූලික පදනම ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අනාගත බල ව්‍යාපෘතියක නොයෙදෙන පක්ෂ සියල්ලම කැබිනට් මණ්ඩලයට එකතු වූ සහ කෙටි කාලයකට සීමා වූවක් බවද  දිසානායක මහතා පැවසීය.

මේ පාර්ලිමේන්තුවට තවත් වසර 03ක කාලයක් තිබෙන අතර ජනාධිපතිවරයා  තම ධුරයේ සිටිමින් එම කාලය පුරාවට මේ පාර්ලිමේන්තුව ඇදගෙන යෑමට සූදානම් බවත්  එම නිසා එවැනි සර්වපාක්ෂික ආණ්ඩුවකට ජාජබ දායකත්වය සපයන්නේ නැති බවත්  ඔහු කීය.

“දශක ගණනාවක් පුරා පාර්ලිමේන්තුවේ විවිධ ජනාධිපතිවරුන්ගේ සැසිවාර විවෘත කිරීමේ කතා සහ අය – වැය ඉදිරිපත් කිරීම් බොහොමයකට  අප සවන් දී තිබෙනවා. මේ සෑම කතාවකම මූලික කරුණු කිහිපයක් හඳුනා ගත හැකියි. පළමුවැන්න ප්‍රජාතන්ත්‍රවාදයයි. දෙවැන්න ආර්ථික සංවර්ධනයයි. මීළඟ කරුණ තරුණයන්ගේ අනාගතය පිළිබඳ කරුණයි. අනෙක් කරුණ ජාතික සමඟිය පිළිබඳ අදහසයි.

රට ගොඩනැගීම, වංචා දූෂණ අවම කිරීම පිළිබඳව අදහස්ද ඔවුන් පළ කර තිබෙනවා. වර්තමාන ජනාධිපතිවරයාගේත් මේ අඩංගුව හැරුණු කොට වෙනත් කිසිවක් අලුතින් ඉදිරිපත් වී නැහැ. ආර්ථික සංවර්ධනය පිළිබඳ කතා කෙතරම් තිබුණත් රටේ ආර්ථිකය දිනෙන් දින කඩා වැටුණා. ප්‍රජාතන්ත්‍රවාදය පුළුල් කිරීම්, නව ව්‍යවස්ථා සංශෝධන කිරීම් පිළිබඳව කෙතරම් කතා මෙහි ඉදිරිපත් වී තිබුණත් සැබැවින්ම සිදුවී තිබෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය හැකිළීමේ කටයුතු සිදුවීමයි.

වංචා දූෂණ මැඬලීම පිළිබඳ කෙතරම් කතා ඉදිරිපත් වුණත් සැබැවින්ම සිදුවී තිබෙන්නේ වංචා දූෂණ ඉහළ යෑමයි. පාර්ලිමේන්තුවේ තරුණ තරුණියන් නියෝජනය විය යුතු බව කිව්වත් පාර්ලිමේන්තුවේ බහුතරයක් 70, 80 ඉක්මවූ පිරිසයි. ඒ නිසා අලුත් කිසිවක් රනිල් වික්‍රමසිංහගේ ප්‍රකාශය තුළ අප දකින්නේ නැහැ.

මෙම ප්‍රකාශයේදී ඔහු සර්වපාක්ෂික ආණ්ඩුවක් පිළිබඳව, එකතු වී රට ගොඩනගමු වැනි කරුණු ගැන වැඩිපුර කරුණු දක්වනවා. ගෝඨාභය රාජපක්ෂ ඉවත් වූ වහාම සර්වපාක්ෂික ආණ්ඩුවක් ගොඩනැඟිය යුතු බවටත් අනතුරුව කෙටි කාලයකින් මැතිවරණයකට යා යුතු බවටත් අපි කරුණු ඉදිරිපත් කළා. එහිදී කථානායකවරයා, ජනාධිපතිවරයා බවට පත් වෙන්නත් සර්වපාක්ෂික ආණ්ඩුවට එකඟ වන පක්ෂවල එකඟතාවයෙන් අගමැතිවරයා තෝරා ගන්නටත්, අමාත්‍ය මණ්ඩලය 10කට සීමා කරන්නටත් වංචා දූෂණ පිළිබඳ නඩු නැවත පැවරීමටත්, ඒ පිළිබඳ පරීක්ෂණ නැවත ආරම්භ කිරීමටත් අපි යෝජනා කර තිබුණා. නමුත් රනිල් සහ රාජපක්ෂ කඳවුර එකතු වී ආණ්ඩුවක් පිහිටුවා එයට එකතු වන ලෙස ඉල්ලා සිටීම කිසිසේත් සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටු වීමක් වන්නේ නැහැ. එය රනිල් – රාජපක්ෂ ආණ්ඩුවට සෙසු අය සහය දැක්වීමක් පමණක් යැයිද  හෙතෙම වැඩිදුරටත් පැවසුවේ ඊයෙ (3දා) පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදීය.

අනුරාධා හේරත්