ශ්‍රී ලංකා කාන්තා විස්සයි-20 පදක්කම් බලාපොරොත්තුවත් ගිලිහෙයි

0
28

මේ දිනවල එංගලන්තයේ බර්මින්හැම් නුවරදී පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ කාන්තා විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ පදක්කමක් පිළිබඳ බලාපොරොත්තු අත්හැරගැනීමට ශ්‍රී  ලංකා කාන්තා පිලට ඊයේ (3දා) අලුයම සිදු විය. නවසීලන්ත කාන්තා කණ්ඩායම සමඟින් පැවැති තරගයෙන් ලකුණු 45ක පරාජයක් අත්විඳීමත් සමඟින් එහි අවසන් පූර්ව වටය සදහා පිවිසීමේ අවස්ථාව ශ්‍රී  ලංකාවට අහිමිව ගියේය.

ඒ අනුව ‘බී’ කාණ්ඩය යටතේ නවසීලන්තය සහ එංගලන්තය අවසන් පූර්ව තරග වටය සඳහා සුදුසුකම් සපුරා ගැනීමට සමත් විය.

එජ්බැස්ටන් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් නවසීලන්ත කාන්තා පිල නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 7කට රැස්කළ ලකුණු 147ට පිළිතුරු සැපැයූ ශ්‍රී  ලංකාවට පන්දුවාර 20ක් අවසානයේ කඩුලු 8කට රැස්කරගත හැකි වූයේ ලකුණු 102ක් පමණි.

එම ඉලක්කය හඹා යෑමේදී ශ්‍රී  ලංකා පිලේ ආරම්භය නැවතත් අසාර්ථක විය. ඒ අනුව මුළු ලකුණු සංඛ්‍යාව 3ක් වෙද්දී චමරි අතපත්තු ලකුණු නොලබා දැවී ගිය අතර, විශ්මි ගුණරත්නටද රැස්කරගත හැකි වූයේ ලකුණු 3ක් පමණි. තෙවැනි කඩුල්ල බවට පත්වූ හසිනි පෙරේරාට ලබා ගත හැකි වූයේ ලකුණු 8ක් පමණි. හර්ෂිතා සමරවික්‍රම ලකුණු 5ක් ලබා සිටියදී කඩුලු රකින්නා අතට උඩපන්දුවක් ලබා දෙමින් සිවුවැනි කඩුල්ල ලෙස දැවී යද්දී ශ්‍රී  ලංකා ලකුණු පුවරුව 24ක් ලෙස සටහන් විය.

ඉන් අනතුරුව ශ්‍රී  ලංකාවේ මුළු ලකුණු සංඛ්‍යාව 32ක් වෙද්දී 5වැනි කඩුල්ල ලෙස කවීෂා දිල්හාරි දවා ගැනීමට කාර්සන්ට හැකිවූ අතර, අමා කාංචනාට රැස්කරගත හැකි වූයේ ලකුණු 8ක් පමණි. අනුෂ්කා සංජීවනී ලකුණු 2කට දැවී ගියාය.

කෙසේ වෙතත් සටන්කාමී ඉනිමක් දියත් කළ නිලක්ෂි ද සිල්වා පන්දු 35කදී ලකුණු 36ක් වාර්තා කළ අතර ශ්‍රී  ලකා ඉනිමේ අවසානයේදී හුදෙකලා සටනක නිරත වූ ඕෂධී රණසිංහ නොදැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 18කි.

මෙහිදී පළමුව ලකුණු රැස්කළ නවසීලන්තය වෙනුවෙන් සුසී බේට්ස් ලකුණු 34ක් හා සොෆී ඩිවයින් ලකුණු 24ක් ලබාගත් අතර, ශ්‍රී  ලංකාව වෙනුවෙන් ඉනෝකා රණවීර කඩුලු 3ක් හා ඕෂධී රණසිංහ කඩුලු 2ක් දවා ගත්තාය.

මේ අතර ඊයේ පැවැති පිරිමි මීටර් 400 මූලික වටයේ තරගයට සහභාගි වූ කාලිංග කුමාරගේට අවසන් මොහොතේ එම ඉසව්වේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට හැකිවිය.

එහිදී ඔහු ඊයේ සහභාගි වූ එම මූලික වටයේ තරගයේදී තත්. 46.53ක කාලයක් සටහන් කරමින් සිවුවැනි ස්ථානයට පත්වුවද සෙසු තරගකරුවන්ගේ කාලය හා සැසදීමේදී ඔහුට අවසන් පූර්ව වටයට යෑමට හැකියාව ලැබිණි.

ලකුණු සාරාංශය

නවසීලන්තය – 147/7

(සුසී බේට්ස් 34, සොෆී ඩිවයින් 24, බෘකි හෙලිඩේ 22, ලියා තහුහු නොදැවී 20, ඉනෝකා රණවීර 30/3, ඕෂධී රණසිංහ 31/2,

කවීෂා දිල්හාරි 21/1)

ශ්‍රී  ලංකාව – 102/8

(නිලක්ෂි ද සිල්වා 36,

ඕෂධී රණසිංහ නොදැවී 18, හේලි ජැන්සෙන් 5/3, ඊඩ්න් කාර්සන් 30/2)