ලක්‍ෂ දෙකක ඩීසල් හොරෙන් ඇද්ද බසය අල්ලයි

0
16

ඩීසල් ලීටර් 450ක් ඉතා සූක්‍ෂ්ම ලෙස හොර රහසේ ප්‍රවාහනය කරමින් සිටි බස් රථයක් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

බස් රථයේ පිටුපස භාණ්ඩ ප්‍රවාහන කරන කුටියේ ප්ලාස්ටික් බූලි තුළ ඩීසල් ලීටර් 300ක්ද, ඉන්ධන ටැංකියට යාබදව යකඩ බැරලයක් ආධාරයෙන් සකස් කරන ලද ව්‍යාජ ඉන්ධන ටැංකියක තවත් ඩීසල් ලීටර් 150ක්ද තිබී විශේෂ කාර්ය බළකා නිලධාරීන් සොයාගෙන තිබිණ.

අත්අඩංගුවට ගත් ඉන්ධන ප්‍රමාණයේ දළ වටිනාකම රුපියල් එක්ලක්‍ෂ අනූදහසක් බව විශේෂ කාර්ය බළකාය කියයි.

කල්ලරාව හන්දිය ප්‍රදේශයේ බළකා භටයන් විසින් මෙම බස් රථය නතර කොට කරන ලද සෝදිසි කිරීමේදී මෙම ඉන්ධන තොගය සොයාගෙන තිබිණි. ඉන්ධන සමඟ පුල්මු‍ෙඩ් ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි අයකු සහ නිලාවේලි පදිංචි 40 වියේ පසුවන අයකුද අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග පරිදි පුල්මුඩේ විශේෂ කාර්ය බළකා කඳවුරේ පොලිස් පරීක්‍ෂක කේ.ඒ.ඩී.එස්. කුලතුංග ඇතුළු කණ්ඩායමක් මෙම වැටලීම කරන ලදී.

කීර්ති මෙන්ඩිස්