ලංගම ඩිපෝවලින් ඉන්ධන දීමේදී සෞඛ්‍ය සේවාවන් ඉවත දා පාසල් බස් රථවලට මුල්තැන දීලා

0
22

ලංකා ගමනාගමන මණ්ඩලයේ ඩිපෝ තුළ පිහිටුවා ඇති පිරවුම්හල්වලින් ඉන්ධන දීමේදී සෞඛ්‍ය සේවයට තිබූ ප්‍රමුඛතාව ඉවත් කර පාසල් බස් රථවලට දීමෙන් සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ ගැටලු රැසක් නිර්මාණය වී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ පැවැසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැති සාකච්ඡාවකදී ගෙන ඇති මෙම තීරණය අනුව කටයුතු කරන්නැයි සියලුම ලංගම ඩිපෝවලට චක්‍රලේඛයක් ලැබී තිබෙන බවද ලේකම්වරයා සඳහන් කළේය.

ගිලන් රථ, සෞඛ්‍ය සේවකයන්ගේ ඩීසල් වාහන, රෝහල් විදුලි උත්පාදක යන්ත්‍ර (ජෙනරේටර්) සඳහා ඉන්ධන ලබා ගැනීමට තිබූ අවස්ථාව අහිමිවී ඇතැයිද හෙතෙම ප්‍රකාශ කළේය. හදිසි ප්‍රතිකාර සේවා ඇනහිටීමටත්, රෝගීන් ප්‍රවාහනයේදී ගැටලු නිර්මාණය වීමටත් මෙම තීරණය හේතුවී ඇතැයිද ඔහු කීය.

මේ අතර ජාතික අක්‍ෂි රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් ඉන්ධන පිරවුම්හල් පෝලිම්වල පැය 48කට වඩා ගත කිරීම හේතුවෙන් එම වෛද්‍යවරුන් පසුගිය 26 වැනිදා ශල්‍යකර්ම ලැයිස්තුව නතර කළ බවද අලුත්ගේ මහතා පැවැසීය.

මාස හයකට පෙර දින දුන් රෝගීන්ගේ ඇසේ සුද ඉවත් කිරීම ඇතුළු ශල්‍යකර්ම එදින නතර කර තිබෙන බවද හෙතෙම කීය. සෞඛ්‍ය ලේකම්වරයා පවත්වන පලක් නොමැති සාකච්ඡාවලට මින් ඉදිරියට සහභාගි නොවීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කළ බවද හරිත අලුත්ගේ ප්‍රකාශ කළේය.

අමිත් මධුරංග ගමගේ