රාජපක්ෂලා සහ බකතපස්!

0
204

“අපි එකතු වෙලා ඉන්නේ කොපමණ ගැහුවත් කොපමණ රිදුණත් අපමණ දුක්ගැහැට වින්දත් ඒ කිසිවකින් තමන්ගේ යුතුකම එක දශමයකින්වත් අතනොහැරපු දේශපාලන චරිතයකට අපේ කෘතගුණ දක්වන්න. ඒ තමයි විමල්. ඒකට ඉන්න වඩාත් සුදුසු කෙනා මම කියලයි මට හිතෙන්නේ. මොකද විමල් එහෙම ප්‍රහාරයට ලක්වෙනකොට විමල් දෙවැනි වුණා නම් දෙවැනි වුණේ මට විතරයි. මට ගහපු ගැහිල්ල විමල්ට ගහපු ගැහිල්ල ඒ විස්තර සේරම තමුන්නාන්සේලා දන්නවා.

මහින්ද රාජපක්ෂව මැදමුලනේ ජනේලේ එල්ලුවා කියලා ෂැම්පේන් බොන්න වාඩිවුණ උදවිය ෂැම්පේන් බෝතලේ කඩන්නත් කලින් ආයෙම මෙන්න මහින්ද රාජපක්ෂ ඉන්නවා නුගේගොඩ විමල් ඇතුළු කණ්ඩායම එකතුවෙලා හදපු වේදිකාවේ. මහින්ද සුළඟ නමින් පටන් ගත්තා. කට්ටිය ආයෙම බෝතලේ පුටුව යටට දාලා එනවා මහින්ද රාජපක්ෂට ගහන්න. මහින්ද රාජපක්ෂව ඉවරයක් කරන්න. විමල්ට ගහන්න. විමල්ව ඉවරයක් කරන්න. මගේ පවුලේ උදවියත් හිරේ දානවා. විමල්ගේ පවුලේ උදවියත් හිරේ දානවා. නඩු පිට නඩු වැටෙනවා. ජනාධිපතිතුමාටත් නඩු දැම්මා. එකක් පස්සේ එකක් බොරු චෝදනා පැටව් ගහනවා. තමුන්නාන්සේලා දන්නවා හේතුව.”

ඔය කතාව මහින්ද කීවේ විමල්ගේ පාර්ලිමේන්තු දිවියට වසර 20ක් සපිරීම නිමිත්තෙන් නෙලුම් පොකුණ රඟහලේ පැවැති විසි වසක වීරවංශ උත්සවයට එක් වෙමින්ය.

රෝහණ විජේවීරගෙන් පසු ජනතා විමුක්ති පෙරමුණේ සිටි ජනකාන්තම චරිතය වූ විමල් වීරවංශ ජවිපෙන් ගලවා තමන්ගේ කඳවුරට ගත් මහින්ද මෑතකාලීන ජනතා විමුක්ති පෙරමුණ සුනුවිසුනු කිරීමේ ප්‍රමුඛතමයා විය.

2005 ජනාධිපතිවරණයේදී මහින්ද නමැති චරිතය ජනගත කොට ජනාධිපති ධුරය සඳහා රැගෙන යෑමේ ප්‍රධානතම මෙහෙවර ඉටු කළේ ජවිපෙය. එයිනුත් ප්‍රධාන වූයේ විමල්ය.

මහින්ද ආණ්ඩුව යටතේ ජනතා විමුක්ති පෙරමුණට ඇමැති ධුර කිහිපයක්ද හිමිවිය. ජවිපෙ ප්‍රධානම නියමුවා වූ විමල් වීරවංශද ඇමැති ධුරයක් හෙබවීය. කෙසේ වෙතත් වාමාංශික පක්ෂයක් වූ ජවිපෙ දක්ෂිණාංශික ආණ්ඩුවක් හා දීග යෑම පිළිබඳව බිම් මට්ටමින් විවේචන එල්ල විය. ඒ හේතුවෙන් ජවිපෙ මහින්දගේ ආණ්ඩුවෙන් ඉවත්වීමට තීන්දු කළේය. එහෙත් විමල් හිටියේ වෙනම ප්‍රතිපත්තියකය. යුද්ධයක් පැවැත්වෙන මෙවැනි අවස්ථාවක ආණ්ඩුවෙන් ඉවත් නොවිය යුතුය යන තර්කය විමල් වීරවංශ ඉදිරිපත් කළේය. විමල්ගේ මතය  ජවිපෙ කණ්ඩායමක් අනුමත කළහ. සෝමවංශගේ නායකත්වයෙන් යුතු ජවිපෙ ආණ්ඩුවෙන් ඉවත්වෙද්දී විමල් වීරවංශ ප්‍රමුඛ ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රිවරු 10 දෙනකු තවදුරටත් ඇමැති ධුර සහ තනතුරු දරමින් ආණ්ඩුවේ සිටියහ.

මෙය ජනතා විමුක්ති පෙරමුණේ දෙකඩ වීම දක්වා තීරණාත්මක ලෙස බලපෑවේය. ජවිපෙ විමල්ගේ ක්‍රියාකලාපයට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කළේය. ඔහු දේශපාලන බලමණ්ඩලයෙන් ඉවත් කළ අතර පක්ෂය තුළ දැරූ සියලු තනතුරුවලින් නෙරපා දැමූහ. විමල්ව 2008 මාර්තු 21 පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා පක්ෂයෙන් ඉවත් කිරීමටත් නායකත්ව මණ්ඩලය තීන්දු කළේය. විමල් සමඟ කණ්ඩායමක්ම ජවිපෙන් ඉවත් කරනු ලැබීය.

ඇත්ත වශයෙන්ම විජේවීරගෙන් පසු ජවිපෙ සමාජගත කිරීම උදෙසා විමල් බරපතළ කාර්යභාරයක් ඉටු කළේය. ඒ නිසාම විමල්ට විශාල ජනප්‍රියත්වයක් පාක්ෂිකයන් තුළ තිබිණි. සමහරු ජවිපෙ සහ විමල් දෙදෙනෙක් නොව එකකු ලෙස හ¾දුන්වන තරමටම ජවිපෙත් විමලුත් සමීප විය.

එහෙව් විමල්, ජවිපෙන් ගලවා ගැනීමේ කටයුත්ත මහින්ද හරි අපූරුවට ඉටු කළේය.

මහින්දට අවශ්‍ය වුණේ විමල් නමැති මුඛරි කථිකයාගෙන් සිය අනාගත දේශපාලන පැවැත්ම තහවුරු කරගන්නටය. ඔහු තම කණ්ඩායම තුළ කැපී පෙනෙන නායකයන් කප්පාදු කළා මෙන්ම තම කඳවුරට  එකතු කර ගත්තේය.

ඒ හරහා මහින්ද තමන්ට එරෙහිව ගොඩනැඟෙන සියලු ප්‍රතිවිරුද්ධ බලවේග මුලිනුපුටා දමන්නට සමත් විය.

විශේෂයෙන්ම ඔහු ප්‍රතිවිරුද්ධ එක්සත් ජාතික පක්ෂය ජනතාවාදී චරිත නැති කාන්තාරයක් බවට පත් කළේය.

එච්. එම් මොහොමඩ්, නන්ද මැතිව්, විජේපාල මෙන්ඩිස්, ධර්මදාස බණ්ඩා, ඔලිත ප්‍රේමරත්න, කෙහෙලිය රඹුක්වැල්ල, තිස්ස අත්තනායක, පී. දයාරත්න, රුක්මන් සේනානායක, ලක්ෂ්මන් සෙනෙවිරත්න, දයාසිරි ජයසේකර, රෝහිත බෝගොල්ලාගම, අර්ල් ගුණසේකර, මහින්ද සමරසිංහ, මොහාන් ග්‍රේරෝ, නියෝමාල් පෙරේරා, ඉන්දික බණ්ඩාරනායක, කරු ජයසූරිය, විජමු ලොකුබණ්ඩාර, හැරල්ඩ් හේරත්, ජොන්ස්ටන් ප්‍රනාන්දු, දයාසිරි ජයසේකර වැනි අදහාගන්නට බැරි තරමේ දිග ලැයිස්තුවක් එජාපයෙන් ගලවා තම පිලට සැලුන් ‍ෙදාර හරහා ඇතුළත් කර ගැනීමට මහින්ද සමත් විය.

විශේෂයෙන්ම ඔහු ජනතා විමුක්ති පෙරමුණ දෙකඩ කළේ කිසිවකුට අදහා ගන්නට නොහැකි අයුරින්ය.

විමල් ඇතුළු කණ්ඩායමක් ගලවා ගැනීම එහි කූටප්‍රාප්තියයි.

පක්ෂයෙන් නෙරපා හරින ලද කණ්ඩායම එක්වී නව දේශපාලන ව්‍යාපාරයක් ආරම්භ කිරීමට 2008 අගෝස්තු 20 අස්ගිරි මල්වතු නාහිමියන් බැහැදැක ආශීර්වාද ලබාගත්හ. පසුව රෝහණ විජේවීර නව පක්ෂය ආරම්භ කළේ මැයි 04 බැවින් විමල් වීරවංශ ජාතික නිදහස් පෙරමුණ නමින් නව දේශපාලන ව්‍යාපාරයක් 2009 මැයි 04 ආරම්භ කළේය.

එතැන් පටන් ජාතික නිදහස් පෙරමුණ හෙවත් ජානිපෙ ශ්‍රී ලංකා නිදහස් සන්ධානයේ සාමාජික පක්ෂයක් බවට පත්විය. 2010 සහ 2015 ජනාධිපතිවරණවලදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහාය පළ කළේය. එමෙන්ම 2009 සහ 2015 මහ මැතිවරණවලදී ශ්‍රීලනිපය සමඟ සන්ධානගතව තරග කළේය. 2009න් පසු විමල් වීරවංශ නිවාස සංවර්ධන අමාත්‍යවරයා බවට පත්වූයේය.

මහින්ද ජනාධිපතිවරණ ජයග්‍රහණය කළේ වමට පින් සිද්ධ වෙන්නටය. ඇත්ත වශයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ කඳවුරට ජනාධිපතිවරණයක් ජයග්‍රහණය කිරීමට යෑමේ ශක්තිය අත්‍යවශ්‍යම විය. වම අහිමි වූ සිරිමාවෝ හැත්තෑ හතේ ජනාධිපතිවරණය පරාජය වූවාය. ඇය 88 ජනාධිපතිවරණය පරාජය වුණෙත් වම අහිමි වූ නිසාය. 94 චන්ද්‍රිකාට වම උදවු කළේය. ඇය එයින් ජයග්‍රහණය කළාය.

2005 වන විට මහින්දට තිබුණු ලොකුම ගැටලුව වුණේ වමේ ශක්තිය තමන්ට ලැබේද නැද්ද කියන එකය.

චන්ද්‍රිකා ආණ්ඩුවට එරෙහිව විශාල ජනතා රැල්ලක් ගොඩනැඟී තිබියදී පවා ඒ අවස්ථාවේ එජාපයේ අපේක්ෂකයා වූ රනිල්ට වම දිනාගත නොහැකි විය.

ඉතාම සූක්ෂ්ම ලෙස මහින්ද ඒ අවස්ථාව උදාකර ගත්තේය.

එපමණක් නොව, තමන්ට ජනාධිපතිවරණයේ ජයග්‍රහණය උදෙසා දැවැන්තම සහයෝගය ලබා දුන් ජනතා විමුක්ති පෙරමුණ සිය ජයග්‍රහණයෙන් අනතුරුව දෙකඩ කොට තමන්ට අවශ්‍යම  පුද්ගලයා තම පිලට භාර ගැනීමට මහින්ද සූක්ෂ්මව කටයුතු කළේය.

ඒ, වමට කතා කළ විමල්ය. ඒ විතරක් නෙවෙයි, මහින්ද වාසු දිනා ගත්තේය. බැටී, ඩිව්  දිනාගත්තේය. අනෙක් පැත්තෙන්ම අන්ත ජාතිවාදී හෙළ උරුමයත් දිනා ගත්තේය. මේ උභතෝකෝටික කණ්ඩායම් සියල්ල එකට එකතු කරගෙන ජනාධිපතිවරණයත් දිනා ගත්තේය.

දකුණේ මහින්ද වම විනාශ කළේ එහෙමය.

හැබැයි ඔහුගේ ජනාධිපතිවරණය වන විට විට මහින්දලාට වම නැත්තටම නැති වී තිබුණේය. වමෙන් ආව මහින්දලා දකුණත් අතහැර අන්ත ජාතිවාදී තැනකට තල්ලු විය. හැබැයි මහා විශාල සුනාමියක් සේ පැමිණි ජාතිවාදී රැල්ල විසින් 2019 ගෝඨාභය ජනාධිපති කළේය. එහෙත් ජනාධිපතිවරයාගේ ජාතිවාදී රැල්ල ආපසු හැරවෙන්නට ගතවුණේ දෙවසරකටත් අඩු කාලයකි.

ඇත්ත වශයෙන්ම දැන් රාජපක්ෂලාගේ දේශපාලනය නැවත නඟා සිටුවන්නට බැරි තරම් අගාධයකට වැටී අවසන්ය.

එය ඔවුන් විසින්ම අත්පත් කරගත් ඛේදවාචකයකි. එම ඛේදවාචකය විසින් අද වන විට රාජපක්ෂලා දේශපාලනික වශයෙන් ජනතාව මත අප්‍රසන්නභාවය ඉතිරි කොට තිබේ.

එහෙත් ඔවුන්ට දේශපාලනයෙන් නික්ම යා හැකිද?

“කවුරුහරි හිතනවනම් රාජපක්ෂලාගේ දේශපාලනය මෙතැනින් ඉවරයි කියලා ඒක විහිළුවක් විතරයි.”

පසුගියදා නාමල් කීවේය.

නාමල්ගේ මේ කතාව සැලකිල්ලට ගත යුත්තකි. නාමල් ඒ කතාව කියන විට මාර්කෝස් පවුල වසර 36කට පසුව යළි පිලිපීනයේ බලයට පත්වුණා විතරය. ඒ පිලිපීනයේ නව ජනාධිපතිවරයා ලෙස මාර්කෝස් (ජූනියර්) හෙවත්  “බොන්ග් බොන්ග්” දිවුරුම් දීමත් සමඟිනි.

මාර්කෝස් ජූනියර්ගේ පියා වූ ෆර්ඩිනැන්ඩ් මාර්කෝස් (සීනියර්) 1965 සිට 1986 දක්වා බලයේ සිටි අතර ඔහුගේ ධුර කාලයේදී වංචා සහ දූෂණ රැසක් සිදුවූ බවට චෝදනා එල්ල වූයේය. ආඥාදායකයකුද වූ ඔහු පසුව බලයෙන් පහ කෙරුණේ ජනතාවගෙන්  එල්ල වූ දැඩි විරෝධය මතය. ඔහුගේ බිරිය වූ ඉමෙල්ඩා මාර්කෝස්ටද චෝදනා එල්ල වූයේ ඇමරිකානු ඩොලර් බිලියන 10කට ආසන්න මුදලක් වංචා කළ බවටය.

ඇගේ සැමියාට බලය අහිමි වනවිට ඇය සතුව විශාල මුදල් කන්දරාවක් මෙන්ම කලා නිර්මාණ, රන් ආභරණ මෙන්ම සපත්තු 3,000ක්ද තිබූ බවට එකල විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි. එය සැලකුණේ ලෝක ඉතිහාසයේ රජයකින් වාර්තා වූ දරුණුතම මහා මංකොල්ලය ලෙසය.

එවන් පවුලකින් බිහි වූ මාර්කෝස් ජූනියර් හෙවත්  “බොන්ග් බොන්ග්” යළි පිලිපීනයේ ජනාධිපති ලෙස තේරී පත්වන්නේ ඉකුත්දා පැවැති මැතිවරණයෙන් සියයට 60ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමිනි.

ඇත්ත වශයෙන්ම පිලිපීනයේ මාර්කෝස් පවුල යළි බලය අත්පත් කර ගන්නා විට ලංකාවේ රාජපක්ෂ පවුලට බලය අත්හැර යන්නට සිදු වී තිබිණි.

බලය අතහැර යෑමේ පීඩනය අතර සිටි නාමල්ට පිලිපීනයේ මාර්කෝස්ලා වසර තිස් හයකට පසු යළි බලය ලබාගැනීමේ ආරංචිය මහා පිපාසයක් මැද වැටුණු දිය බිඳක් වූවාට සැක නැත.

සමහරවිට නාමල් “අපි ආයෙත් එනවා” කියන ප්‍රකාශය කරන්නට ඇත්තේ එයින් උද්දාම වෙලා වන්නට පුළුවන.

ඒ ගමනට නාමල්ට ඉන්නෙ කවුද?

රටේ නායකත්වය උදෙසා කිසිදු දේශපාලන කැරිස්මාවක් නොතිබූ මහින්ද ජනාධිපති ධුරයට පත් වන්නේ වාමාංශික නැඹුරුවක් ආරූඪ කර ගනිමිනි. එයින් ජය ලැබූ මහින්ද සිය ධුර කාලය තහවුරු කර ගැනීම උදෙසා වාමාංශිකයන් සේ සැලකුණු විමල්ලා වේදිකාවේ නළුවන් බවට පත්කර ගත්හ.

තව වසර කිහිපයකින් ඒ ගමන යන්නට නාමල් ද ඉන්නේ කවුද?

උවි¾දු විජේවීර කරළියට එන්නේ ඔය අතරය.

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක රෝහණ විජේවීරගේ පුත්‍රයා වන උවි¾දු විජේවීර ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයෙන් ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් වීමට නියමිත බව  ප්‍රචාරය විය.  මේ ගැන සාකච්ඡාවකට ඔහු එවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙන්ම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂද හමුවූ බව වාර්තා විය.

හැබැයි දේශපාලන අනාගතය පිළිබඳව ඒ දවස්වල හොඳට ඉව තිබිච්ච තෙම්පරාදු මහින්ද රාජපක්ෂ උවිඳුට කිව්වේ කලබල නොවන ලෙසය.

“එයාට තව කල් තියෙනවා. නියම වෙලාවට මම කියන්නම්.”

එහෙම කියපු මහින්ද උවි¾දුව අනාගත ප්‍රයෝජනය සඳහා සුරක්ෂිත කොට තැබුවේය.

හැබැයි ඒ ඔහුට නොවේ.

“එහෙනම් කාටද?”

“ඊළඟ මැතිවරණයට මහින්ද එන්නේ නෑ. බොහෝ විට පොහොට්ටුව එජාපයයි එකට එකතු වෙලා එයාලගේ පොදු අපේක්ෂකයා විදිහට රනිල්ව එන්න පුළුවන්.”

“එහෙම ආවම රනිල් දිනයිද?

“කියන්න බෑ. රනිල් පරදින්නත් පුළුවන්. හැබැයි මේ එන ජනාධිපතිවරණය දිනනවද නැද්ද කියන එක පොහොට්ටුවට ඒ තරම් අදාළ නෑ.”

“එතකොට?”

“එයාලට අදාළ වෙන්නේ 2030 ජනාධිපතිවරණය.”

“ඒකට එන්නේ කවුද?”

“සමහරවිට පිලිපීනයෙ කතාවම ඒ වෙනකොට ලංකාවේ වෙන්නත් පුළුවන්.”

“ඒ කියන්නේ නාමල් එනවා?”

“ඔව් නාමල් එන්න පුළුවන්. එදා මහින්දට විමල් හයිය දුන්නා වගේ 2030 නාමල්ට උවිඳු හයිය දෙන්නත් බැරි නෑ.”

“එහෙම වුණොත් නාමල් දිනයිද?”

“ඒක නම් කියන්න බෑ. ඒකට දැන්ම උත්තර දෙනවා නම් ඒක හරියට මුහුද හත් ගව්වක් තියාගෙන අමුඩ ගහනවා වගේ.”

මේඝනාද