රත්මලානේ ඝාතනයට ඩුබායි පැට්ටාගේ ගෝලයෙක් දැලේ

0
14

රත්මලානේ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට එක් අයකු ඉතාලියේ නිෂ්පාදිත මිමී 9 පිස්තෝලයක් ලක්ෂ 50 ආසන්න වටිනාකමින් යුත් හෙරොයින් ග්‍රෑම් 503, ව්‍යාජ වාහන අංක තහඩු හයක් සහ ඒවායේ බලපත්‍ර සමඟ ගල්කිස්ස විශේෂ අපරාධ විමර්ශන ඒකකය මඟින් 2 දා අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් පුද්ගලයා සතුව තිබූ මෝටර් රථයක්, මත්කුඩු එතීමට ගන්නා රැපින් කොළ වර්ග කිහිපයක්ද අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පිළියන්දල, මිරිස්වත්ත ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි පුද්ගලයකු වන බවත් ඩුබායි රටේ සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු වන “පැට්ටා” නමැති පුද්ගලයාගේ ගෝලයකු බවත් මොහු හෙරොයින් ප්‍රවාහනය කරන අයකු බවට තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිසිය පවසයි.

ඉකුත් 27 දා රත්මලාන ආර්ථික මධ්‍යස්ථානය ඉදිරිපිට වීරසේන ද සිල්වා මාවතේ කුලී රථ රියැදුරකුගේ ඝාතනය සම්බන්ධයෙන් තොරතුරු මත සැකපිට මොහුව අත්අඩංගුවට ගෙන ඇත.

මොහුව ගල්කිස්ස මහෙස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමෙන් පසු වැඩිදුර පරීක්ෂණ සඳහා රඳවා ගෙන ප්‍රශ්න කිරීම සිදු කරනු ලබයි.

රත්මලානේ මෙම වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැක සහිත යුවළක් ඩුබායි බලා පිටත් වීමට සූදානම් වන බව ගල්කිස්ස පොලිස් ස්ථානාධිපති දිලීප සී. පෙරේරා මහතා වෙත ලද තොරතුරක් මත එම යුවළගේ විදේශ ගමන් වළක්වාලමින් අධිකරණ නියෝගයක් ගෙන 31 දා එම යුවළව අත්අඩංගුවට ගෙන තිබිණි. ඔවුන් දෙපළ රත්මලාන ප්‍රදේශයේ පදිංචි අයවලුන් වේ. අත්අඩංගුවට ගත් එම කාන්තාව වයස අවුරුදු 19ක කාන්තාවක් වන අතර ඇයගේ ස්වාමිපුරුෂයා 32 හැවිරිදි වියේ පසුවන අයකු වේ.

රත්මලානේදී ඝාතනයට ලක් වූ පුද්ගලයා මෙම කාන්තාවට උසුළු විසුළු කිරීමේ ප්‍රශ්නයක් දුර දිග ගොස් මෙම ඝාතනය සිදු කර ඇති බව විමර්ශනවලදී හෙළි වී ඇතැයි පොලිසිය කීවේය.

වැඩිදුර විමර්ශන ගල්කිස්ස පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති නීල් ප්‍රියන්ත ඇතුළු නිලධාරීන් සිදු කරනු ලබයි.

මොරටුව – ඉරංග ප්‍රනාන්දු