මාවනැල්ල බුදු පිළිම කැඩූ 11 දෙනකුට වසර 7ක අත්හිටු වූ සිර දඬුවම්

0
16

මාවනැල්ල ඇතුළු ප්‍රදේශය කිහිපයක බුද්ධ ප්‍රතිමා 7ට හා දේව ප්‍රතිමාවකට පහරදී අලාභහානි කිරීම සම්බන්ධයෙන් 02 වැනිදා සබරගමුව පළාත් බද කෑගල්ල මහාධිකරණයේ පැවැති නඩු විභාගයේදී විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිනොගත් අතර තිදෙනෙක් නිදහස් කරන ලෙසත් සෙසු 11 දෙනාට දඬුවම් නියම කිරීම ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල නියෝග කළේය.

මෙම නඩුව ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් ඉදිරියේ පැවැති අතර මහාධිකරණ විනිසුරුවරුන් වන ජගත් ඒ. කහදගමගේ සභාපතිත්වයෙන් යුත් ජයකි ද අල්විස්, කාලිංගවංශ යන මහත්ම මහත්මීන් ඉදිරියේදී නඩුව විභාගයට ගැනිණි.

නඩුව කැඳවූ අවස්ථාවේදී බන්ධනාගාර නිලධාරීන් මහනුවර පල්ලෙකැලේ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිට විත්තිකරුවන් 13 දෙනා වන පිළිවෙළින් මොහොමඩ් අලුෆර්, මොහොමඩ් අල්ෆාක්, මොහොමඩ් ෆයිසර්, මොහොමඩ් මුක්ති, මොහොමඩ් අක්බාර් මොහොමඩ් මුනින්, මොහොමඩ් සුෆියර් හුසේන්, ඉර්ෂාඩ්, මොහොමඩ් අප්ෆර් අනික් අහමඩ්, නජිමුදින් මෙහොමඩ් පවුෂාන්, මොහොමඩ් ඊබ්‍රාහිම් සාදික්, අබ්දුල්ලා, මොහොමඩ් ඊබ්‍රාහිම් සාහිඩ් අබ්දුල්, මොහොම්මදු ඊබ්‍රාහිම් සාහිඩ් අබ්දුල්, මොහොම්මදු හනීෆා සෙයිනූල් ආබ්දීන්, හිස්බුල්ලා ඛාන් හම්දි අහමඩ්, හයාතු, මොහොම්මදු අහමදු මිල්හාන්, මොහොමඩ් හනීෆා හාජා මොහොදීන් හා හනන් ආමස්දීන් හනන් යන 13 අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

සෙසු තිදෙනා වන නජිමුදින් මොහොමඩ් පවුෂාන්, රෂීඩ් මොහොමඩ් මොහොම්මදු ඊබ්‍රාහිම් සහ මොහොම්මදු ඊබ්‍රාහිම් මොහොම්මදු සාපිද්, ගාල්ල බූස්ස බන්ධනාගාරයේ සිට ඉන්ධන හිඟය නිසා බන්ධනාගාර නිලධාරීන් අධිකරණයට ඉදිරිපත් කර නොතිබිණි. අන්තර්ජාලය ඔස්සේ ඔවුන් අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

පැමිණිල්ල වෙනුවෙන් රජයේ

අධිනීතිඥවරුන් වන වසන්ත පෙරේරා, උදාර කරුණාතිලක සජිත් බණ්ඩාර, අරින්ද්‍ර ජයසිංහ අධිකරණයේ පෙනී සිටියේය.

මෙම නඩුව මාවනැල්ල මහෙස්ත්‍රාත් අධිකරණයෙන් නීතිපතිවරයා වෙත යොමු කොට විත්තිකරුවන්ට එරෙහි ත්‍රස්ත විමර්ශන පනතෙන් අධි චෝදනා 21ක්් ගොනුකර අංක 4485/21 යටතේ සබරගමුව පළාත් බද කෑගල්ල මහාධිකරණය වෙත යොමුකොට තිබිණි. විත්තිකරුවන්ට ඇප ලබාගැනීමට නොහැකි වීමෙන් යළි අධි චෝදනා සංශෝධනය කිරීමට නීතිපතිවරයා වෙත යොමුකොට තිබිණි. රජයේ අධිනීතිඥ වසන්ත පෙරේරා නීතිපතිවරයා විසින් සංශෝධනය කරන ලද අධි චෝදනා පත්‍රය 02 වැනිදා අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

එහිදී ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල අධිකරණයට දන්වා සිටියේ විත්තිකරුවන් වසර තුනයි මාස තකට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතව සිටින බවත් ඔවුන්ගේ අසනීප තත්ත්වයන් සලකා බලා විත්තිකරුවන්ට පෙර වැරැදි නොමැති බවත් දැන්වීය.

ඒ අනුව 3 වැනි විත්තිකරු වන මොහොමඩ් අක්බාර් මොහොමඩ් මුනින්, 4 වැනි විත්තිකරු වන මොහොමඩ් සුෆියර් හුසේන් ඉර්ෂාඩ් හා 13 වැනියා වන හිස්බුල්ලා ඛාන් හම්දි අහමඩ් යන තිදෙනා නිදහස් කෙරිණි. 8 වැනියා වන රෂීඩ් මොහොමඩ් මොහොම්මදු ඊබ්‍රාහිම්, 9 වැනියා වන මොහොමඩ් ඊබ්‍රාහිම් මොහොම්මදු සාපිද් යන දෙදෙනා වරද පිළිගත්තේ නැත. සෙසු විත්තිකරුවන් 11 දෙනා අධිකරණයේදී වරද පිළිගත්තේය.

එහිදී පළමු විත්තිකරුට චෝදනා දෙකෙන් එක් චෝදනාවකට මාස තුන බැගින් මාස 6ක ලිහිල් සිර දඬුවමක් හා රුපියල් 10,000 බැගින් 20,000දට මුදලක්ද දඩ මුදල් නොගෙවන්නේ නම් මාස හයක ලිහිල් වැඩ සහිත සිර දඬුවමක්ද නියම කෙරිණි. දෙවැනි, පස් වැනි හා හය වැනි විත්තිකරුවන් වෙනුවෙන් එක් චෝදනාවකි. එකී චෝදනාවකට මාස තුන බැගින් සිර දඬුවම් නියම කෙරිණි. ඊට අමතරව රුපියල් 10,000 බැගින් රුපියල් 30,000 දඩ මුදලක්ද දඩ මුදල් නොගෙවන්නේ නම් මාස තුන බැගින් ලිහිල් සිර දඬුවමක්ද නියම කෙරිණි. හත්වැනි විත්තිකරුට චෝදනා තුනට මාස 9 සිර දඬුවමක්ද 30,000 ක දඩයක්ද දස වැනියාට චෝදනා හතට මාස 21ක සිර දඬුවමක්ද නියම කෙරිණි.

ඊට අමතරව 70,000ක දඩ මුදලක්ද 11 වැනි විත්තිකරුට මාස 18ක සිර දඬුවමක්ද රුපියල් 18,000 ක දඩ මුදලක්ද 12 වැනියාට මාස 9ක සිර දඬුවමක්ද රුපියල් 30,000ක දඩ මුදලක්ද 14 වැනි විත්තිකරුට මාස 9ක සිර දඬුවමක්ද රුපියල් 30,000ක දඩ මුදලක්ද 15 වැනි විත්තිකරුට මාස 6ක සිර දඬුවමක්ද රුපියල් 20,000ක දඩ මුදලක්ද 16 වැනි විත්තිකරුට මාස තුනක සිර දඬුවමක්ද රුපියල් 10,000ක දඩ මුදලක් ද ගෙවන ලෙස නියෝග කෙරිණි.

සියලුම දඬුවම් එකවර ගෙවී යන ලෙස නියෝග කළ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල දඬුවම් වසර 7ට අත්හිටුවන ලෙසද නියෝග කෙරිණි. වරද පිළිනොගත් විත්තිකරුවන් දෙදෙනා සැප්තැම්බර් 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළාය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් සැරයන් විජේරත්න (34836) අධිකරණයේ පෙනී සිටියේය.

දමුණුපොළ – චමින්ද ජයලත් උඳුගොඩ – ඒ නරසිංහ