මහ කන්නයේ වගා කරන බඩඉරිඟු කිලෝවකට රු. 160/=ක් දෙන්න සූදානම්

0
13

මෙවර මහ කන්නයේදී මෙරට ගොවි ජනතාව වගා කරන බඩඉරිඟු කිලෝ ග්‍රෑම් එකකට රුපියල් 160ක මුදලක් ලබාදීමට කටයුතු කරන බව බඩඉරිඟු ආනයනය කරන ව්‍යාපාරික ප්‍රජාව ස¼ඳහන් කර ඇත.

වෙළෙදපොළේ මිල ඉහළ ගියත් එම මිලටම බඩඉරිඟු මිලදී ගැනීමට සූදානම් බව බඩඉරිඟු ආනයන  ව්‍යාපාරික ප්‍රජාව  පවසා තිබේ. එමෙන්ම  ලෝක වෙළෙඳපොළේ බඩඉරිඟු මිල රුපියල් 160ට වඩා පහළ ගියද මෙම මිලෙහි වෙනසක් නොවන බවද ඔවුන් ප්‍රකාශ කර තිබේ. කෘෂිකර්ම ඇමැති  මහින්ද අමරවීර සමඟ ඊයේ (03) පැවැති සාකච්ඡාවකදී ඔවුන් එසේ පොරොන්දු වී ඇත.

රටේ බඩඉරිඟු වගා කරවන ගොවීන් උනන්දු කරවීමට නම් ඔවුන්ට ඉහළ මිලක් ලබාදිය යුතු බවත්, අප රටේ විදේශ විනිමය බඩඉරිඟු ආනයනය සඳහා වැය නොකර අපිට අවශ්‍ය  ප්‍රමාණය අප රටේම නිපදවීම සඳහා සහයෝගය ලබා දෙන ලෙසත් ඇමැතිවරයා ව්‍යාපාරික ප්‍රජාවගෙන් ඉල්ලීමක් කර ඇත.

පසුගිය මහ කන්නයේදී හා මෙවර යල් කන්නයේදී විධිමත් පරිදි බඩඉරිඟු වගාව සඳහා යූරියා පොහොර හා වල්නාශක ලබා නොදුන් බැවින් දිවයිනේ බඩඉරිඟු වගාව සම්පූර්ණයෙන්ම අඩාල වී ඇතැයි ද ඇමැතිවරයා එහි දි ප්‍රකාශ කර ඇත. ඒ හේතුවෙන් මේ වනවිට සත්ත්ව ආහාර හිඟය නිසා පශු සම්පත් නිෂ්පාදනය ද අඩාල වී තිබීම  නිසා බඩඉරිඟු ආනයනය සඳහා ලබාදෙන කාල සීමාව නොවැම්බර් මස 31 දක්වා දීර්ඝ කිරීමට පියවර ගන්නා බව ඔහු සඳහන් කර තිබේ.

සත්ත්ව ආහාර වශයෙන් බඩඉරිඟුවල ඇති හිඟය නිසා ඒ සඳහා තත්ත්වයෙන් බාල සහල් හා සුනු සහල් (Broken Rice) ආනයනය කිරීමට අවස්ථාව ලබාදීම කෙරෙහිද අවධානය යොමු කරන බව ද ඇමැතිවරයා පවසා ඇත. මෙරට බඩඉරිඟු වගා කරන ගොවීන්ට අවශ්‍ය ඉහළ සහතික මිලක් ලබා දීම හා යූරියා පොහොර බඩඉරිඟු වගාව සඳහාද ලබාදීමට පියවර ගන්නා බව ද හෙතෙම සඳහන් කර තිබේ.

නිර්මාණි ගුණරත්න