මහනුවර නාගරික පාසල් 24කට ඩෙංගු රතු අවදානම් නිකුත් කරලා

0
16

මහනුවර නගර සීමාවේ පාසල් 24කට පසුගිය මාස දෙක තුළ මහනුවර නාගරික සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මඟින් ඩෙංගු අවදානම සම්බන්ධ රතු නිවේදන නිකුත් කර තිබේ.

මෙම පාසල් අතර මහනුවර නගරයේ ජනප්‍රිය පාසල් කිහිපයක්ම තිබෙන බව දැන ගන්නට ඇත.

අදාළ පාසල් පරිශ්‍රයේ තිබී ඩෙංගු මදුරු කීටයන් හඳුනා ගැනීමෙන් පසු මෙම රතු නිවේදන නිකුත් කළ බව අප කළ විමසීමකදී මහනුවර නාගරික ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී පසන් පැරකුම් ජයසිංහ මහතා පැවැසීය.

මදුරු කීටයන් සිටින ස්ථාන විනාශ කිරීමට පියවර ගන්නා ලෙස පාසල්වල විදුහල්පතිවරුන්ට දැනුම් දෙමින් මෙම රතු නිවේදන නිකුත් කළ බවත් නැවත නිරීක්‍ෂණයකින් පසු ඒවා ඉවත් කිරීමට පියවර ගෙන නොමැති බව තහවුරු වුවහොත් ඊළඟ පියවර ගන්නා බවත් හෙතෙම අවධාරණය කළේය.

මේ වන විට මහනුවර නගර සීමාවෙන් ඩෙංගු රෝගයට ගොදුරු වූ පාසල් ළමයින් 266 දෙනකු හඳුනාගෙන තිබේ. මේ වන විට මහනුවර නගර සීමා බල ප්‍රදේශයෙන් ඩෙංගු රෝගීන් බවට සැක සහිත රෝගීන් 1090ක් හඳුනා ගෙන තිබෙන බවත් මේ අතරින් ඩෙංගු බවට නිශ්චිතව හඳුනාගත් රෝගීන් 472ක් සිටින බවත් ඒ මහතා කීය. ඩෙංගු කීටයන් බෝවන ස්ථාන පැවැති නිවාස හා ව්‍යාපාරික ස්ථාන 72කට නඩු පැවැරීමටද නාගරික සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

මහනුවර – කේ.එල්. සුරවීර