මඩු මංගල්‍යය 15දා

0
10

මන්නාරම, මඩු දේවස්ථාන වාර්ෂික මංගල්‍යයට එළැඹෙන 15 වැනිදා පැවැත්වීමට සුදානම් කොට ඇති බව මඩු දේවස්ථාන පාලක සභාව පවසයි.

මඩු මංගල්‍යයට පැවැත්වීම සම්බන්ධයෙන් මන්නාරම දිසාව භාර රදගුරු එමානුවෙල් ප්‍රනාන්දු පියතුමන්ගේ හා මන්නාරම දිස්ත්‍රික් ලේකම් ස්ටැන්ලි ද මෙල් මහත්මියගේ ප්‍රධානත්වයෙන් 01දා සවස පැවැත්වූ සාකච්ඡාවකදී මඩු දේවස්ථාන වාර්ෂික මංගල්‍යයට එළැඹෙන 15 වැනිදා පැවැත්වීමට තීරණය කොට තිබේ.

වර්තමානයේ පවතින ඉන්ධන අර්බුද තත්ත්වය හමුවේ වුවද මඩු වාර්ෂික මංගල්‍යය වෙනුවෙන් බැතිමතුන් ලක්ෂ හතරකට වැඩි ප්‍රමාණයක් පැමිණෙනු ඇති බවට විශ්වාස කරන බැවින්, බැතිමතුන්ට අදාළ පහසුකම් සේවා සැපයීම සම්බන්ධයෙන් එහිදී සාකච්ජා කළ බවද මන්නාරම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සඳහන් කරයි.

වාර්ෂික මංගල්‍යයට වෙනුවෙන් පැමිණෙන බැතිමතුන්ට කොළඹ හා අනුරාධපුරය සිට එළැඹෙන 13 වැනිදා හා 14 වැනිදා විශේෂ දුම්රිය සේවාවක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පහසුකම් සපයා ඇති බවද දේවස්ථාන පාලක සභාව පැවැසීය.

මන්නාරම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, මඩු ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, මන්නාරම ආරක්ෂක අංශ, සෞඛ්‍ය අංශ එක්ව මෙවර මඩු දේවස්ථාන මංගල්‍යයට පැවැත්වීමේ කටයුතු සංවිධානය කරති.

කොවිඩ් ව්‍යාප්තියක් පවතින බැවින් බැතිමතුන් පූර්ණ සෞඛ්‍යාරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් මෙවර මඩු දේවස්ථාන මංගල්‍යයට පැමිණෙන ලෙසට මන්නාරම සෞඛ්‍ය අංශ ඉල්ලීම් කරති.

වවුනියාව – එන්. ප්‍රිදර්ශනි, වවුනියාව – රසාදි චතුරංගි ගමගේ