මට කොළඹ එන්න තෙල් ගහන්න රුපියල් 55,000ක් යනවා

0
43

දිවයිනේ අෑත දිස්ත්‍රික්කවල සිට කොළඹට පැමිණෙන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ ඉන්ධන වියදම් සම්බන්ධව කිසිවකු කතා නොකරන බව ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි විමලවීර දිසානායක පැවැසීය.

මෙම මන්ත්‍රිවරුන්ගේ ගමන් බිමන් සඳහා වැයවෙන ඉන්ධන වියදම සැසඳීමේදී දැනට ලබාදෙන දීමනාව ප්‍රමාණවත් නොවන බවද මන්ත්‍රිවරයා සඳහන් කළේය.

මෙතෙක් කල් රුපියල් 104 බැගින් ඉන්ධන ලීටර් 600ක් ලබාදුන් බවත් දැනට එම මුදලට ඉන්ධන ලබාගත නොහැකි බැවින් ගැටලු රැසකට මුහුණදී සිටින බවත් දිසානායක මහතා ප්‍රකාශ කළේය.

තමාට අම්පාරේ සිට කොළඹට පැමිණීමට ඉන්ධන සඳහා පමණක් රුපියල් 55,000ක් වැයවෙන බවද හෙතෙම කීය.

 අම්පාර දිස්ත්‍රික්කයේ ස්ථාන දෙකක ඇති මළගෙවල් දෙකකට යන විට රුපියල් 75,000ක ඉන්ධන වැයවෙන බවත් එම  නිවෙස් දෙකේ දුර ප්‍රමාණයන්  ඇතැම් විට කිලෝමීටර් 200 ඉක්මවන අවස්ථා තිබෙන බවත්  හෙතෙම කීය. තමාගේ නිවෙස ගිනි තබා ඇති බැවින් ඉන්න හිටින්න තැනක් නොමැති බවත් මේ වනවිට තමන් හිඟන්නකුගේ තත්ත්වයට පත්ව ඇති බවත් ඔහු පැවැසීය.

අමිත් මධුරංග ගමගේ