මගේ අම්මයි දුවයි මට එකම දවසේ නැතිවුණා

0
44

ඇළේ වතුර වැඩි නිසා අම්මා ලොකු දුවට කතා කරලා තියෙනවා පොඩි දුවව එගොඩ කරන්න එන්න කියලා. තුන් දෙනාම අත්වැල් අල්ලගෙන ඇළෙන් එගොඩ වෙද්දී වතුර පාර එකපාරටම වැඩි වෙලා තුන්දෙනාම ගහගෙන ගිහින්. වතුරේ මීටර් පනහක් විතර ගහගෙන යද්දී ලොකු දුව කෝපි අත්තක එල්ලිලා දිවි බේරාගෙන තිබුණත් පොඩි දුවයි, අම්මයි පහළට ගහගෙන ගිහිල්ලා. මගේ අම්මයි, දුවයි දෙන්නම එකම වෙලාවේ මට නැති වුණා” යැයි මිය ගිය දියණියගේ පියා වන අමල් හේමචන්ද්‍ර මහතා පැවැසීය.

ගිනිගත්හේන, පොල්පිටිය, හිටියේගම ප්‍රදේශයේදී කැලණි ගඟට ජලය ගලා බසිනා කුඩා ඇළකින් එගොඩ වීමට යෑමේදී ජල පහරට අසුව ගසාගෙන ගොස් දියේ ගිලී මරණයට පත්වූ පස් හැවිරිදි ඩී.ජී. දහම්සා සංජීවනී දැරියගේ පියා වන අමල් හේමචන්ද්‍ර මහතා එසේ පැවසුවේ දියණියගේ සහ ඔහුගේ මව වන එන්.එම්. ආරියවතී (62) මහත්මියගේ  දේහයන් තැන්පත් කර තිබූ හගරාපිටිය, බොකරබැවිල පිහිටි නිවෙසට ඊයේ (03දා) අප ගිය අවස්ථාවේදීය.

අධික වැස්සත් සමඟ ඇළ මාර්ගය ඔස්සේ පැමිණි ජල කඳට හසුව කිලෝමීටරයක් පමණ පහළට ඇදී ගිය මිත්තණියගේ හා මිනිබිරියගේ මළ සිරුරු සොයා ගනු ලැබුවේ පොල්පිටිය පොලිසියේ නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව පැය ගණනාවක මෙහෙයුමක් දියත් කරමිනි. මිත්තණියගේ සිරුර පළමුව හමුවුවත් දැරියගේ සිරුර හමුවූයේ සිද්ධියෙන් පැය තුනකට පමණ පසුවය.

පොල්පිටිය, හිටිගේගම නිවෙසේ තැන්පත් කර තිබූ දේහයන්ට අවසන් ගෞරව දැක්වීම පිණිස ඊයේ දින අති විශාල පිරිසක් පැමිණ සිටියහ.

මවගේ හා දියණියගේ වියෝව දරාගත නොහැකිව ක¾දුළු සලමින් සිටි අමල් හේමචන්ද්‍ර මහතා මෙසේද කීවේය.

අපිට පුතාලා දෙන්නෙක් හා දුවලා දෙන්නෙක් ඉන්නවා. ලොකු දුවට අවුරුදු 15යි. ඊළඟ පුතාට අවුරුදු 12යි. අනෙක් පුතාට අවුරුදු 08යි. නැති වුණේ පවුලේ බාල දුව. එයාට අවුරුදු 05යි. මගේ තාත්තා මීට මාස 10 කට කලින් නැති වුණා. දරුවෝ හතර දෙනා ඉන්නේ මගේ අම්මත් එක්ක. අපි කිතුල්ගල, ඉංගිරියාවත්තේ  තේ කඩයක් කරනවා. අපේ ගෙවල්වල ඉඳලා කඩේට කිලෝමීටර් 20ක් විතර තියෙනවා. මායි නෝනයි දෙන්නම ඉන්නේ කඩේ. අපි ගෙදර යන්නේ දවස් දෙකකට විතර වතාවක්. සිද්ධිය වුණු දවසට කලින් දවසේ අපි ගෙදර ඉඳලා කඩේට ආවේ. හැමදාම දරුවෝ අපිට වට්ස් ඇප් එකෙන් වීඩියෝ කෝල් අරන් අපිට කතා කරනවා. අපි කඩේ ඉඳන් ගෙදර යනකොට පොඩි දුව තමයි දුවගෙන ඇවිත් මුලින්ම වඳින්නේ.

එදා මුළු දවසම වැස්ස. හවස පොඩි පුතා කෝල් එකක් දීලා කිව්වා  තාත්තේ කිරිඅම්මයි, නංගියි ඇළේ ගියා කියලා. මට වීල් එකක් තියෙනවා. ඒක එළවන්න මට බැහැ. ඒ නිසා මම වෙන වීල් එකක් කුලියට අරන් ආවේ. මේ ඇළේ වතුර පාර සැරට යන්නේ නැහැ. දැන් දවස් තුනක් වැහැලත් ඇළේ වතුර පාර අඩි දෙකක්වත් නැගලා නැහැ. ඒත් එදා ඇළේ වතුර පාර නොහිතපු විදිහට වැඩි වෙලා. වතුර වැඩි නිසා අම්මා කෝල් කරලා ලොකු දුවට එන්න කියලා. තුන්දෙනාම එගොඩ වෙද්දී තමයි මේ සිද්ධිය වෙලා තියෙන්නේ. ලොකු දුවට තුවාලයි. එයාගේ කකුල තුවාල වෙලා නිසා ඇවිදින්න බැහැ.

හගරාපිටිය, බොකරබැවිල පන්සලේ තමයි මොන්ටිසෝරිය තියෙන්නේ. පන්සලට අපේ ගෙදර ඉඳලා මීටර් 500ක් වත් නැහැ. දුව එදා අම්මට කියලා ලැවරිය කන්න ආසයි කියලා. අම්මා දුවව දාලා ලැවරිය ගන්න ඇවිල්ලා. එක කඩේකවත් ලැවරිය තිබිලා නැහැ. ඊට පස්සේ අම්මා ගෙදර ඇවිත් රෝටි හදලා අරන් ගිහින්. මොන්ටිසොරියේ එදා

ළමයි ඉඳලා තියෙන්නේ හය දෙනයි. අම්මා දුවටයි ටීචර්ටයි ළමයින්ටයි රොටි හදලා අරන් ගිහින්. දුව ජෑම් කන්න හරිම ආසයි. ඒ නිසා අම්මා රොටිවලට ජෑම් ගාලා තමයි අරන් ගිහින් තියෙන්නේ. අනේ ආච්චි අද හොඳටම වහිනවා. අපිව බලන්න අම්මයි, තාත්තායි හෙට එනකොට ඒ දෙන්නා හොඳටම තෙමෙයි නේද කියලා දුව අම්මට කියලා. ටීචර් තමයි මට මළ ගෙදර ආවම විස්තරේ කිව්වේ. හැමදාම අපි ගෙදරින් එනකොට දුව සෙල්ලම් බඩුවක් ගේන්න කියනවා. මම අන්තිමට ගෙදරින් එනකොටත් දුව කිව්වා තාත්තා සෙල්ලම් බඩුවක් ගේන්න කියලා. දරුවෝ හතර දෙනා හරිම සමඟියි. මොනවා ගෙනත් දුන්නත් කවුරුවත් තනියම කන්නේ නැහැ. හතර දෙනාම එකට වාඩි වෙලා කන්නේ.

පොල්පිටිය, මාදෙණිය විදුහලේ ලොකු දුව 10  පන්තියේ ඉගෙන ගන්නවා. පොඩි පුතා ඉන්නේ හයේ පන්තියේ. අනෙක් එක්කෙනා 04 පන්තියේ. ඒ තුන් දෙනාම එදා වැස්ස නිසා ඉස්කෝලේ ගිහින් නැහැ. මේ ඉරණම් ගමන යන්න වෙන බව දැනගෙනද දන්නේ නැහැ අම්මා දුවත් එක්ක ගියේ.”

මියගිය දැරියගේ මව වන ඩී.එල් දයානි මහත්මිය මෙසේ පැවසුවාය. “ළමයි හතර දෙනා හැමදාම කෝල් කරනවා. ඉස්කෝලේ යනකොටත් කතා කරනවා. එදා කෝල් කළේ නැහැ. සිද්ධිය වූ දවසට කලින් දවසේ රෑ පොඩි දුව වට්ස් ඇප් කෝල් එකක් අරගෙන නට නටා කතා කළා. වෙනදා පොඩි පින්නක් වැටුණත් අම්මා දුවව මොන්ටිසෝරි අරන් යන්නේ නැහැ. එදා මාරයාද දන්නේ නැහැ දෙන්නව එළියට අරන් ගියේ.”

මියගිය දියණියගේ හා මිත්තණියගේ දේහයන් තැන්පත් කර තිබුණේ එකම පෙට්ටියකය. ඔවුන්ගේ අවසන් කටයුතු 04 දින පස්වරුවේ ඔවුන්ගේ නිවෙස පිහිටි ඉඩමේදී  සිදුකිරීමට නියමිතය.

නොර්වුඩ් – නීටා පත්ම කුමාරි