පාර්ලිමේන්තුවේ තෙවැනි සැසිවාරය චාම්-අභිමානවත් උළෙලකින් ඇරැඹේ

0
31

නවවැනි පාර්ලිමේන්තුවේ, තෙවැනි සැසිවාරය, මෙතෙක් පැවැති සම්ප්‍රදායන්ගෙන් බැහැරව, ජාතික කොඩියට හා රාජ්‍ය ලාංඡනයට ප්‍රධාන තැනක් දෙමින් චාම් හා අභිමානවත් ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ (03දා) පෙරවරුවේ විවෘත කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඊයේ (3දා) පෙ.ව. 10.30ට පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරන ලදී.

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණීම චාම් උත්සවයක් පැවැත්වූ අතර ඒ අනුව මෙවර ආචාර වෙඩි මුර සහ රථ පෙළපාළි නොපැවැත්වීම විශේෂත්වයක් විය.

ඊයේ (3දා) පෙ.ව  09.30ට ආරාධිත අමුත්තන්ගේ  පැමිණීම සිදුවූ අතර එහිදී  පළමුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ පැමිණීම සිදු විය.

එහිදී කථානායක මහින්ද යාපා අබේවර්ධන සහ පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහත්වරුන් විසින්  පාර්ලිමේන්තු ගොඩනැඟිල්ලේ ප්‍රධාන පියගැටපෙළ අසලදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ  පිළිගන්නා ලදී.

එම අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ ප්‍රධාන ද්වාරය අසලදී කොළඹ, දේවි බාලිකා විද්‍යාලයේ සිසුවියන් විසින් ජයමංගල ගාථා ගායනා කර ජනාධිපතිවරයාට ආශීර්වාද එක් කළේය.

එහිදී ත්‍රිවිධ හමුදා ජනාධිපති උත්තමාචාරය පිරිනැමීමෙන් අනතුරුව වේත්‍රධාරි, නියෝජ්‍ය වේත්‍රධාරි සහ සහකාර වේත්‍රධාරි පෙරටු කරගත් කථානායකවරයා සහ පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා විසින් ජනාධිපති  පාර්ලිමේන්තු මන්දිරය වෙත කැඳවා ගෙන යනු ලැබීය.

අනතුරුව පැලඳුම් කාමරයට පැමිණි ජනාධිපතිවරයා පෙ.ව. 10.25 පමණ වන තෙක් එහි රැඳී සිට සම්ප්‍රදායට අනුව නියෝජ්‍ය  වේත්‍රධාරී, වේත්‍රධාරී, ජනාධිපතිවරයා, කථානායකවරයා, මහලේකම්වරු යන අනුපිළිවෙළට පෙරහරෙන් සභාගර්භයට ඇතුළු වීම සිදුවිය.

කෙසේ නමුත් ජනාධිපතිවරයා සභාවට පැමිණෙන මොහොතේම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස  අනෙක් ‍ෙදාරටුවෙන් ඇතුළු  වූ අයුරු  දක්නට ලැබිණි. ජාතික ජන බලවේගයේ මන්ත්‍රි අනුර කුමාර  දිසානායක සභාවට පැමිණියේ ජනාධිපතිවරයා  පැමිණ අසුන් ගත් පසුවය.

සභාගර්භයට පිවිසි ජනාධිපතිවරයා සභාවේ මුලසුන දැරූ අතර මෙවර ජනාධිපතිවරයාගේ අසුනේ ජනාධිපතිවරයාගේ නිල ලාංඡනය වෙනුවට රාජ්‍ය ලාංඡනය සවිකර තිබීම විශේෂත්වයකි. මෙම අවස්ථාවේදී කථානායකවරයා, පාර්ලිමේන්තුව කාරක සභා අවස්ථාවකදී අසුන් ගන්නා පහළ ආසනයේ ලේකම් මණ්ඩලය සමඟ අසුන් ගැනීම සිදුවේ. අනතුරුව ජනාධිපතිවරයා විසින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරනු ලැබීමෙන්  අනතුරුව සභාව අගෝස්තු මස (9දා) වැනිදා පස්වරු 1.00ට කල් තැබිණි. ඉන් පසු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයන් සහ ආරාධිත අමුත්තන් වෙනුවෙන් තේ පැන් සංග්‍රහයක්ද සංවිධානය කර තිබිණි.

නවවැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභා වාරය උත්සවාකාරයෙන් විවෘත කිරීමේ අවස්ථාවට විදේශ රාජ්‍යතාන්ත්‍රිකයන්, හිටපු ජනාධිපතිවරුන්, අග්‍රාමාත්‍යවරුන්, අගවිනිසුරුතුමා, උපරිමාධිකරණ විනිසුරුවරුන්, නීතිපතිතුමා, ආරක්ෂක ලේකම්, ත්‍රිවිධ හමුදාපතිවරු සහ පොලිස්පතිවරයා ඇතුළු ආරාධිත අමුත්තන් පිරිසක් පැමිණ සිටියහ.

ජනාධිපතිවරයා සහ ආර්යාව පාර්ලිමේන්තුවෙන්  පිටත්ව යන අවස්ථාවේදීද හමුදා උත්තමාචාරයක් පිරිනැමීම සිදුවිය.

අනුරාධා හේරත්, සඳුනි ගමාරච්චි