පාන්පිටි දෙනවා කියා හාරලක්‍ෂ පනස්දාහක් වංචා කළ හොරකු පසුපස පොලිසිය ලුහුබඳී

0
10

පාන් පිටි දෙන බව පවසා මිනුවන්ගොඩ, ගල්ලොලුව ප්‍රදේශයේ බේකරි හිමියෙක්ගෙන් රුපියල් හාරලක්‍ෂ පනස් දහසක මුදලක් බැංකු ගත කරවා ගෙන පොරොන්දු වූ පරිදි පාන් පිටි හෝ මුදල් ආපසු නොදී මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් මිනුවන්ගොඩ පොලිසිය පරීක්‍ෂණ අරඹා ඇත.

පැමිණිලිකරු මිතුරකු මාර්ගයෙන් ජංගම දුරකථනය මඟින් සැකකරු හඳුනාගෙන ඇත. පාන් පිටි මිටි පනහක් හැටක් ලබාදිය හැකි බව පැමිණිලිකරුට පවසා ඇති සැකකරු බැංකු ගිණුම් අංකයක් ලබාදී එම ගිනුමට මුදල් බැර කරන ලෙස දන්වා තිබේ. පැමිණිලිකරු මෙම ගිණුමට රුපියල් හාරලක්‍ෂ පනස් දහසක මුදලක් තැන්පත් කර ඇත.

පිටි මිටි ලබාදීම ප්‍රමාද වන හෙයින් පැමිණිලිකරු සැකකරුට ඇමතුම් ලබා ගත්තද සැකකරුගේ ජංගම දුරකථනය ක්‍රියාවිරහිතව තිබිණි. පැමිණිලිකරු වංචාකරුවකුට හසුව ඇති බවට අවබෝධ වීමෙන් පසු පොලිසියට පැමිණිලි කර ඇත. මෙවැනි වංචාකරුවන්ට හසු නොවන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

මිනුවන්ගොඩ – ටෝනි කේ. අතුකෝරල