පාඨලීගේ නඩුව යළි විභාගයට

0
12

අධිකරණ නියමයකින් තාවකාලිකව අත්හිටුවනු ලැබ තිබූ පාර්ලිමේන්තු මන්ත්‍රි පාඨලී චම්පික රණවක හිටපු ඇමැතිවරයාට එරෙහිව විභාග වූ මහාධිකරණ නඩු විභාගය යළි පවත්වාගෙන යෑමට ඊයේ (03දා) ශේ‍ර්ෂ්ඨාධිකරණයෙන් නියම කෙරිණි.

2016 වර්ෂයේ ජීප් රියේ රාජගිරිය ප්‍රදේශයේදී මහමඟ ගමන් කරමින් තිබූ යතුරුපැදියක් හප්පා පළා යෑමෙන් තරුණයකුට බරපතළ තුවාල සිදු කිරීම හා එය වසන් කිරීම සඳහා සිය ඇමැති බලතල භාවිත කරමින් පොලිසියත් අධිකරණයත් නොමඟ යවා වෙනත් පුද්ගලයකු නඩුවට ඉදිරිපත් කිරීම ඇතුළු අධිචෝදනා මාලාවක් යටතේ හිටපු ඇමැතිවරයාට එරෙහිව නීතිපතිවරයා විසින් පවරන ලද නඩුව කොළඹ මහාධිකරණය හමුවේ විභාග වෙමින් තිබිණි.

ඒ අතරතුර එකී මහාධිකරණ නඩු විභාගය අත්හිටුවන ලෙස ඉල්ලා චම්පික රණවක මන්ත්‍රිවරයා විසින් ගොනු කරනු ලැබූ විශේෂිත අභියාචනා පෙත්සමක් ශේ‍ර්ෂ්ඨාධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී එකී පෙත්සම් විභාගය නිමාවන තෙක් මහාධිකරණ නඩු විභාගය පවත්වාගෙන නොයෑමට නීතිපතිවරයා ප්‍රතිඥාවක් ලබා දුනි.

ඒ අනුව මහාධිකරණ නඩු විභාගය අත්හිටුවණු අතර ඊයේ (03දා) නීතිපතිවරයා යළි ශේ‍ර්ෂ්ඨාධිකරණයට ප්‍රකාශ කර සිටියේ, තමන් විසින් දෙන ලද එම ප්‍රතිඥාව ඉවත් කර ගැනීමට නීතිපති දෙපාර්තමේන්තුව විසින් තීන්දුවක් ගෙන ඇති බවය.

විනිසුරු එස්. තුරෙයිරාජා, විනිසුරු ජනක්ද සිල්වා සහ විනිසුරු මහින්ද සමයවර්ධන යන ත්‍රිපුද්ගල ශේ‍ර්ෂ්ඨාධිකරණ විනිශ්චය මණ්ඩලය එය පිළිගනිමින් මහාධිකරණ නඩු විභාගය යළි ආරම්භ කළ හැකි බව ප්‍රකාශ කර සිටියේය.

අතිරේක සොලිසිටර් ජනරාල් රොහාන්ත අබේසූරිය මහතා නීතිපතිවරයා නියෝජනය කරමින් පෙනී සිටියේය.

ඒ අනුව අභියාචනා පෙත්සම් විමසුම සැප්තැම්බර් මස 15 වැනිදා දක්වා කල් තැබිණි.

ජනාධිපති නීතිඥ ෆායිස් මුස්තාපා මහතා චම්පික රණවක මන්ත්‍රිවරයා වෙනුවෙන් පෙනී සිටියේය.

කමල් මහේන්ද්‍ර වීරරත්න