දුම්රිය අනතුරින් මියගිය ගුවන් හමුදා භටයාගේ සිරුර ඥාතීන් භාරගනී

0
9

ගුවන් හමුදා ගෞරවාචාර සහ වරප්‍රසාද නොදීම හේතුවෙන් ඥාතීන් හරවා එවූ කළුතරදී දුම්රිය අනතුරෙන් මියගිය ගුවන් සෙබළාගේ මෘතදේහය පෙරේදා (02දා) රාත්‍රි ඥාතීන් භාරගත් බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘෘප් කපිතාන් දුෂාන් විජේසිංහ මහතා ඊයේ (03දා) පැවැසීය. භාරදීම සඳහා වැල්ලවායට ගෙන ගිය දේහය භාර ගැනීම ඥාතීන් ප්‍රතික්ෂේප කළ බැවින්, කළුතර උතුර පොලිසියට පැමිණිලි කර, නීතිඥයකු මාර්ගයෙන් මෝසමක් ඉදිරිපත් කොට අධිකරණ නියෝගයක් ලබාගෙන රජයේ වියදමින් අවසන් කටයුතු කිරීමට සූදානම් කරමින් සිටියදී මෙසේ ඥාතීන් දේහය භාරගත් බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවැසීය.

ගුවන් හමුදා වෑන් රථයක් ඉකුත් 31දා අලුයම 1.33ට පමණ කළුතරදී දුම්රියක ගැටී සිදුවූ අනතුරෙන් වැල්ලවාය, කොටවෙහෙරගල ප්‍රදේශයේ පදිංචිව සිටි වීරවිල කඳවුරේ රියැදුරකු ලෙසින් රාජකාරි කළ නායක ගුවන් භට යූ.ජී. සුගත් හර්ෂක ගමගේ යන සෙබළා මියගොස් සිටි අතර රාජකාරියට පටහැනිව ක්‍රියාකිරීම හේතුවෙන් ඔහුට හමුදා ගෞරව හිමිනොවන බව දැනගැනීමත් සමඟ දේහය භාර ගැනීම ඥාතීන් ප්‍රතික්ෂේප කර තිබිණි.

එබැවින් සිවිල් ඇඳුම් අන්දවා කළුතර සිට වැල්ලවායට ගෙන ගිය දේහය නැවත පසුගිය 2දා කළුතරට ගෙන ඒමට ගුවන් හමුදාවට සිදුවිය.

ගුවන් හමුදාව කළුතර උතුර පොලිසියට පැමිණිලි කර නීතිඥයකු මාර්ගයෙන් අධිකරණයට මෝසමක් ඉදිරිපත් කොට දේහය රජයේ වියදමින් අවසන් කටයුතු කිරීමට කටයුතු කරමින් සිටින අතරතුර පවුලේ සාමාජිකයන් දේහය භාරගැනීමට කැමැත්ත පළ කර ඇත. පවුලේ සාමාජිකයන් පෙරේදා රාත්‍රි පැමිණ වෑන් රථයකින් දේහය ගෙනගොස් තිබේ.

පොතුපිටිය – සුමිත් රණවක