තරුෂි අවසන් පූර්ව වටයට

0
29

මේ දිනවල කොලොම්බියාවේදී පැවැත්වෙන ලෝක ශූරතා කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 400 කාන්තා අවසන් පූර්ව තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට තරුෂි කරුණාරත්න සමත් වූවාය.

ඒ අනුව මෙහි මූලික වටයේ තරගයෙන් තත්. 54.13ක කාලයක් සටහන් කරමින් සිවුවැන්නා ලෙස තරගය නිම කළ තරුෂි එම ඉසව්වේ අවසන් පූර්ව තරගය සදහා සුදුසුකම් ලබා ගත්තාය. කෙසේ වෙතත් ශ්‍රී  ලංකා ක්‍රීඩා බලධාරීන් නිසි වේලාවට ගුවන් ටිකට්පත් වෙන්කරගැනීමට කටයුතු නොකිරීම හේතුවෙන් අවසන් මොහොතේ මෙම තරගාවලිය වෙනුවෙන් ශ්‍රී  ලංකාවෙන් පිටත්ව ගිය දෙවැනි කණ්ඩායමට එක්වීමට සිදුවූ තරුෂිට මෙම තරගාවලියේ මීටර් 800 මූලික වටයේ තරගය සඳහා සහභාගි වීමට නොහැකි වීම කනගාටුදායක සිදුවීමකි.

එමෙන්ම අවසන් මොහොතේ කොලොම්බියාවට ළඟා වීමෙන් අනතුරුව කිසිදු විවේකයක් නොලබා පැය කිහිපයක් ඇතුළත ඉහත සඳහන් කළ මීටර් 400 මූලික වටයේ තරගය සඳහා සහභාගි වීමට තරුෂිට සිදුවිය.

මේ අතර මීටර් 400 කාන්තා කඩුලු ඉසව්ව නියෝජනය කළ අමේෂා හෙට්ටිආරච්චිට එහි මූලික වටයේ තරගයේදී 7 වැනි ස්ථානයෙන් සෑහීමකට පත්වීමට සිදුවිය. කෙසේ වෙතත් ඇය මෙහිදී විනාඩි 1 තත්තපර 02.11ක කාලයක් සටහන් කර තිබිණි.