ජනපතිගේ කතාව ප්‍රශස්තයි යථාර්ථයක් වුණොත් හොඳයි

0
43

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ප්‍රශස්ත කරුණු ගණනාවක් අඩංගු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඊයේ (3දා) පාර්ලිමේන්තු සංකීර්ණයේදී මාධ්‍යයට අදහස් දක්වමින් පැවැසීය. “දේශපාලනයේ කතා කිරීම හා ක්‍රියාව අතර ලොකු පරතරයක් තිබෙනවා. සමස්තයක් විධියට කතාවේ අඩංගු වූ කරුණු ධනාත්මකයි.

කතාවෙන් කී දේ යථාර්ථයක් වේ යැයි හිතමු. සර්වපාක්ෂික ඒකාබද්ධ වැඩසටහන ක්‍රියාත්මක විය යුතු අයුරු ගැන මෙහි ප්‍රතිපාදන සකස් වෙලා තිබෙනවා. එය සාධනීය කරුණක්. පක්ෂ නායකයන්ගෙන් සමන්විත සභාවක් හරහා කටයුතු කිරීම, පොදු ජනතාවගේ සහභාගිත්ව පාලනයට මහජන සභාවක් නිර්මාණය වීම, අධීක්ෂණ කමිටු ක්‍රියාවට නැංවීම යනාදිය සම්බන්ධයෙන් එතුමාගේ කතාවේ කියැවුණා.

පාර්ලිමේන්තු අධීක්ෂණ කමිටු වර්තමාන බලතලවලින් ඔබ්බට ගිය පාර්ලිමේන්තු බලතල ශක්තිමත් වන කමිටු ක්‍රමයක් හරහා ක්‍රියාත්මක විය යුතුයි. ඉදිරි සර්වපාක්ෂික වැඩපිළිවෙළක කොටස් තුන සඳහන්ව තිබෙනවා. ඇමැති කටු සූප්පු කරලා අවස්ථාවාදී සර්වපාක්ෂික පාලනයකට ප්‍රවිෂ්ට වීමට කවුරු හරි හිතනවා නම් එය ජනතාවාදී සර්වපාක්ෂික ක්‍රමයක් නෙවෙයි. එය ජනතාවගේ කරපිට තවත් බරක් පටවන පාලනයක්. එවැනි දෙයක් අඩංගු නොවීම ගැන මම සතුටුයි.

මේ ගැන අපට ධනාත්මකව හිතන්න පුළුවන්. වත්මන් ජනාධිපතිවරයාට දශක ගණනාවක අත්දැකීම් තිබෙනවා. මන්ත්‍රි දඩයම, මන්ත්‍රි වරදාන වරප්‍රසාද ඇමැති තනතුරුවලට හැරවීම තුළ රටට කිසිම සුගතියක් අත්පත්ව නැහැ. එතැනදී සිදු වන්නේ මහජනතාවගේ කරපිට තව තවත් බර පැටවීම.

ඒක මේ කතාවේ නැහැ. මන්ත්‍රි දඩයම් සහ කැබිනට් කටු සූප්පු කරන දේශපාලනය මෙහි නැහැ. එවැනි කරුණු අඩංගු නොවීම තුළ මේ කතාව වඩාත්ම ප්‍රශස්තයි. ජාතික සභාව නැත්නම් මහජන සභාව ශක්තිමත් කිරීම,  පක්ෂ නායකයන්ගේ සභාවක් ස්ථාපිත කිරීම, ආංශික අධීක්ෂණ කමිටුවලට යම්කිසි බලගැන්වීමක් සිදු කර මේ ගමන ඉදිරියට යන්නේ නම් එය වඩාත් ප්‍රශංසනීයයි.

වත්මන් ජනාධිපතිවරයා ප්‍රකාශ කළා දිවුරුම් දිය යුත්තේත් පාර්ලිමේන්තුවේ කියලා. පාර්ලිමේන්තු බලය ශක්තිමත් කරන එක ගැන එතුමා හිතන බවට ඒ අදහසින්ම අපට වැටහුණා. පාර්ලිමේන්තු කමිටු හරහා රට ගොඩදමන ජාතික වැඩපිළිවෙළට එකතු වීමට අපි සූදානම්. ඇමැති කටු සූප්පු කරන දේශපාලනයට අපි සූදානම් නැහැ. ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ අඩංගු කාරණා ගැන අපට කිසිදු ගැටලුවක් නැහැ. ඒවා ක්‍රියාවට නැංවීම තමයි වඩාත්ම වැදගත් වන්නේ,” යැයිද විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවැසීය.

අනුරාධා හේරත්, සඳුනි ගමාරච්චි