ගෝල්ෆේස් අරගලකරුවන්ට හෙට හවස 5 තෙක් කල් දෙයි

0
102

ගාලුමුව‍ෙදාර පිටිය හා අවට ප්‍රදේශවල නීති විරෝධීව රැඳී සිටින සියලු දෙනාම හෙට (05දා) පස්වරු 5ට පෙර අනිවාර්යයෙන්ම ඉවත් විය යුතු බවට පොලිසිය ඊයේ (03දා) පස්වරු 6.00ට පමණ ගාලුමුව‍ෙදාර ප්‍රදේශයේදී ශබ්ද විකාශන මඟින් නිවේදනය කළේය.

ගාලුමුව‍ෙදාර පිටිය හා ඊට ආසන්න ප්‍රදේශයේ රජයට හෝ නාගරික සංවර්ධන අධිකාරියට අයත් බිම් කොටස්වල අනවසරයෙන් කරන ලද ඉදිකිරීම් හා බෝග වගාවන්ද වහාම ඉවත් කරගන්නැයි එහිදී නිවේදනය කර ඇත.

මහජනයාගේ ද්‍රව්‍යමය අයිතිවාසිකම් අහිමි කිරීම නවතාලන ලෙසද එහිදී නිවේදනය කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව “මව්බිම” ට පැවැසීය.

රටේ පවතින නීතියට අනුකූලව හා මහජනයාට පීඩාකාරී නොවන ආකාරයෙන් කටයුතු කළ යුතු බවද එකී උපදෙස් අනුව කටයුතු නොකරන අයවලුන් සම්බන්ධයෙන් නීත්‍යනුකූල පියවර ගන්නා බවද එහිදී නිවේදනය කර තිබේ.

විනීතා එම්. ගමගේ, කීර්ති මෙන්ඩිස්